ශ්‍රී ලංකා රුපියල දරුණු ලෙස කඩා වැටීම මේ රජයට නතර කරන්නට බැරි හැඩයි - අජිත් නිවාඩ් කබ්රාල් හිටපු මහ බැංකු අධිපති


ශ්‍රී ලංකා රුපියල, ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව 2005 අග වන විට පැවති අගය රු. 102 කි. 2014 අග වන විට එය රු. 131 ක් විය. එනම්, වසර 9 ක් තුළදී, සාමාන්‍යයෙන් වසරකට 2.8% ක අවප්‍ර‍මාණයකි. ඒ අතර, 2018.09.21 වන විට, එම අගය රුපියල් 171 ක් බවට පත්ව ඇත. ඒ අනුව, පසුගිය වසර 3.7 පමණ කාලය තුළදී, නුදුරු ඉතිහාසයේ සීග්‍රතම අවප්‍ර‍මාණය‍ සනිටුහන් කරමින් ශ්‍රී ලංකා රුපියල, ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල් 40 කින් පමණ පහල වැටී ඇත. එම පහත වැටීම සාමාන්‍යයෙන් වසරකට 9.1% ක පමණ අවප්‍ර‍මාණයකි. එමෙන්ම, පසුගිය සතිය තුළදී පමණක්, රුපියලේ වටිනාකම 163 සිට 171 දක්වා රුපියල් 8 කින්, නැතහොත් 5% කින් පමණ, කඩා වැටුනි. 2018.09.21 දිනයේ පමණක්, රුපියල, රුපියල් 2.02 කින් අවප්‍ර‍මාණය වුනි.

මේ අතරතුර, සුපුරුදු ලෙස, රජය නිදහසට කරුණු දක්වමින් කියා සිටින්නේ රුපියල බාල්දුවීමට හේතුව ඇමෙරිකා එක්සත් ජනපදයේ ට්‍ර‍ම්ප් ජනාධිපති ඩොලරය ශක්තිමත් කර ඇති නිසා බවය. එම තර්කය තහවුරු කිරීමට, ඉන්දියානු රුපියල සහ පකිස්ථානු රුපියලත් මෑතකදී බාල්දුවී ඇති බව ඔවුන් පෙන්වා දෙති. එහෙත්, ආර්ථික වශයෙන් ඉතා දුර්වලයයි සැලකෙන රටවල් ඉදිරියේ පවා ශ්‍රී ලංකා රුපියල අවප්‍ර‍මාණය වී ඇති බව ඔවුන් නොකියති. උදාහරණයක් වශයෙන්, 2018 වසරේදී බංගලාදේශ ටකා (Taka) ට සාපේක්ෂව 7.5% කින්ද, ඉතියෝපියාවේ බිර් (Birr) ට සාපේක්ෂව 9.2% කින්ද, සිම්බාබ්වේ ඩොලරය (Dollar) ට සාපේක්ෂව 11.1% කින්ද, ශ්‍රී ලංකා රුපියල පහත වැටී ඇත.

පසුගිය මුලු වසර තුළදීම, ඇමරිකා එක්සත් ජනපදයේ ආර්ථිකය ශක්තිමත් වෙමින් පැවති බව සියලු දෙනා දැන සිටියහ. එසේ නම්, එම තත්ත්වයෙන් උද්ගත වන අභියෝග වලට මුහුණ දීමට සූදානම් වීම පාලකයන්ගේ වගකීමය. එසේ සූදානම් නොවී, සියල්ලන්ම අපේක්ෂා කල තත්ත්වය ළගාවූ විට, ඒ ගැන හඩන්නට පටන් ගෙන, ජනතාව මත බර පටවන්නේ නම්, එයින් පිළිබිඹු වන්නේ අන්ත නොහැකියාව සහ නොසැලකිලිමත්භාවයය.

එපමණක් නොව, ආර්ථික ඔස්තාර කෙනෙකුයි කියා ගන්නා තවත් ඇමතිවරයෙක් කියා ඇත්තේ රුපියල අවප්‍ර‍මාණය වීම රටට “හිතකර” බවයි. එහෙත්, සාමාන්‍ය ජනතාව පවා දන්නා පිරිදි, යම් ආර්ථිකයක මුදල් ඒකකයක් දිගටම බාල්දු වන විට, එම ආර්ථිකය කෙරෙහි ඇති විශ්වාසය පසු බසී. තවද, අවප්‍ර‍මාණය (depreciate) වන එම ආර්ථිකය සැලකෙන්නේ දුර්වල වන එකක් ලෙසය. රටක මුදල් ඒකකය අධිප්‍ර‍මාණය (appreciate) වන විට, ඒ රට සාමාන්‍යයෙන් සැලකෙන්නේ ආර්ථිකමය ලෙස ශක්තිමත් වන රටක් වශයෙනි.

මහ බැංකු වාර්තා වලට අනුව, ශ්‍රී ලංකා රුපියලේ අවප්‍ර‍මාණය වීම නිසා රාජ්‍ය ණය රුපියල් බිලියන 696.9 කින්, පසුගිය වසර 3 තුළදී ඉහල ගොස් ඇත. ඒ අතරම, 2017 අවසානයේදී, රජයේ විදේශ ණය තොගය රුපියල් බිලියන 4,719 ක් වුනි. එනම්, ඇමරිකානු ඩොලර් බිලියන 31.4 කි. තවද, 2018.09.21 වැනි දින වන විට, ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවත් 10% කින් අවප්‍ර‍මාණය වී ඇති නිසා, පැවති ණය තොගය තවත් රුපියල් බිලියන 472 කින් වැඩිවී ඇතැයි ගණනය කළ හැකිය. ඊට අමතරව, 2018 වසර මුල් භාගයේදී ලබා ගත් විදේශ ණය වන ඇ.ඩො. බිලියන 3.5 ක මුදලද, 2018 ජූලි සිට සිදුවූ තියුණු අවප්‍ර‍මාණයට ගොදුරු වී ඇත. ඒ සදහාද, සෑම ඇමෙරිකානු ඩොලරයකටම වැඩිපුර රු. 10 ක් පමණ දැනටමත් ආපසු ගෙවීම සදහා අය වැයෙන් වෙන් කරන්නට සිදු වන්නේය. එනම්, තවත් රුපියල් බිලියන 35 ක් ශ්‍රී ලංකා ණය තොගයට එකතු වී හමාරය. ඒ අනුව, මේ වසරේදී, රටේ සම්පත් තොගයට කිසිදු සම්පතක් එකතු නොවූවත්, රටේ ණය තොගයට රුපියල් බිලියන 507 ක් එකතු වී ඇත! එම මුදල, මීට පෙර, ශ්‍රී ලංකාවේ සිදු කරන ලද දැවැන්ත ව්‍යාපෘති කීපයක්ම නිම කරන්නට ආයෝජන කල මුදල හා ආසන්න මුදලක් වීම විශේෂත්වයකි.

මෙලෙස රුපියලේ කඩා වැටීමත් සමගම, ආර්ථිකයේ සහ රජයේ තවත් දැවැන්ත කම්පා කීපයක්ද හටගෙන ඇත. 2014 දී ගෙවූ පොලිය රුපියල් බිලියන 443 ක් වුවද, 2018 දී ගෙවන්නට නියමිත පොළිය රුපියල් බිලියන 820 ක් වී ඇත: ණයබරතාවය දළ දේශීය නිශ්පාදිතයට සාපේක්ෂව 71% සිට 87% දක්වා වැඩිවී ඇත: ණය තොගය රුපියල් බිලියන 7,391 සිට මේ වන විට රුපියල් බිලියන 11,971 දක්වා රුපියල් බිලියන 4,580 කින් (62%) වැඩිවී ඇත. ජනතාව සහ ව්‍යාපාර ගෙවන සියලුම පොළි අනුපාතයන් 50% කින් පමණ වැඩිවී ඇත; රටේ ඉහලම පෙළේ ව්‍යාපාර සිට මධ්‍යම සහ කුඩා පරිමාණයේ ව්‍යාපාර රාශියක් වැසී යමින් පවතී; මහ බැංකු දත්ත අනුව, 2014 දී වැඩ කරන සංඛ්‍යාව මිලියන 8.4 වුවද, 2018 දී වැඩ කරන සංඛ්‍යාව මිලියන 7.9 දක්වා ලක්ෂ 5 කින් පමණ අඩු වී ඇත; බැංකු, මූල්‍ය ආයතන සහ ක්ෂුද්‍ර‍ මූල්‍ය ආයතන කඩා වැටීමේ අවධානම බොහෝ සේ වැඩි වී ඇත: නව ආයෝජකයින් ශ්‍රී ලංකාව වෙත පැමිණීම සම්පූර්ණයෙන්ම පාහේ අත්හිටවී ඇත. තවද, ඉදිරි සති කීපය තුළදී, මහ බැංකුව විසින් පොලී අනුපාතයන්ද වැඩිකර හැකි අතර, මුලු මූල්‍ය පද්ධතියම විශාල පීඩනයකට ගොදුරුවීම අනිවාර්යය.
එමෙන්ම, 2014 දී දළ දේශීය නිශ්පාදිතය ඇමෙරිකානු ඩොලර් 79.4 ලෙස පවතින විට සමස්ත බදු, ගාස්තු සහ දඩ ප්‍ර‍මාණය රුපියල් බිලියන 1,050 ක් වුවද, 2018 වන විට, දළ දේශීය නිශ්පාදිතය ඇමෙරිකානු ඩොලර් 85.0 පමණ දක්වා වැඩි වෙද්දී, දැවැන්ත ලෙස බදු, ගාස්තු සහ දඩ ජනතාව මත පටවමින් රුපියල් බිලියන 2,034 (එනම් දෙගුණයක් පමණ) මුදලක් ජනතාවගෙන් අය කර ගැනීමට රජය බලාපොරොත්තු වන බව පෙනේ.

තත්ත්වය මෙලෙස දරුණු මට්ටමක තිබුණද, රුපියල ස්ථාවර කිරීම සදහා යෙදවීමට අවශ්‍ය විදේශ විනිමය මහ බැංකුව සතුව නොමැත. මුදල් ඇමති පවසා ඇති පරිදි, තිබෙන සංචිත, ණය ගෙවීමට පමණක් ප්‍ර‍මාණවත්ය. ඒ නිසා, රුපියල ස්ථාවර කිරීමට ඒවා යෙදවිය නොහැක. ඒ හේතුවෙන්, තම ඇස් පනා පිට රුපියල කඩා වැටෙද්දිද, මුලු ආර්ථිකයම විනාශ වෙද්දිද, මෙම අදක්ෂ රජයට කළ හැකි වන්නේ ඒ දෙස බලා සිටීම පමණය.

වර්තමාන රජය විසින්ම නිර්මාණය කර ගන්නා ලද මෙම කම්පාසහගත තත්ත්වය දෙස ශ්‍රී ලාංකිකයන් වශයෙන් ජනතාවට නම් තවදුරටත් බලා සිටිය නොහැක. මෙම තත්ත්වය වහා වෙනස් කොට ආර්ථිකය රැක ගැනීමට නම්, රජය වහාම ඉල්ලා අස්වී, මැතිවරණයක් පවත්වා, මෙම ආර්ථික ප්‍ර‍ශ්න වලට මුහුණ දිය හැකි රජයක් පත් කර ගන්නට ජනතාව දැඩි ලෙස බල කල යුතුය. එසේ නොවුවහොත්, මුලු ශ්‍රී ලංකා ජනතාවටමද, ඉදිරි අනාගත පරම්පරා වලටද සදහටම පාහේ මෙම ආර්ථිකයේ කඩා වැටීමෙන් පහල වන අර්බුධ වල විනාශදායී විපාක විදින්නට සිදු වන්නේය.
Views
49
2018-09-25 17:18:55
ජනප්‍රිය පුවත්