බස්‌ ගාස්‌තු 4% කින් නගී

පෞද්ගලික බස්‌ ගාස්‌තු අද (20 වැනිදා) මධ්‍යම රාත්‍රියේ සිට සියයට 4 කින් වැඩි කිරීමට රජය තීරණය කර ඇත.

කෙසේ වෙතත් අවම බස්‌ ගාස්‌තුව රුපියල් 12 වැඩි නොවන බව ප්‍රවාහන ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

ඉන්ධන මිල වැඩි වීමත් සමග බස්‌ සංගම් විසින් විවිධ ඉල්ලීම් සිදුකළ බවත්, ඒ අනුව බස්‌ සංගම් සමග පැවති සාකච්ඡාවකින් පසුව මෙසේ සියයට 4 කින් බස්‌ ගාස්‌තු වැඩි කිරීමට තීරණය කළ බවත් ඇමැතිවරයා කීවේය.

සියයට 4 කින් බස්‌ ගාස්‌තු වැඩි වීම සම්බන්ධයෙන් අවශ්‍ය වන ඇමැති මණ්‌ඩල අනුමැතිය ලබා ගැනීමට කටයුතු කරන බව ද ඇමැතිවරයා සඳහන් කළේය.

ඉදිරියේදී ඉන්ධන මිල සූත්‍රයට අනුව ඉන්ධන මිලෙහි සිදුවන වෙනස සැලකිල්ලට ගෙන බස්‌ ගාස්‌තු සංශෝධන ක්‍රමවේදයක්‌ සකස්‌ කිරීමට කටයුතු කරන ලෙසට ප්‍රවාහන ඇමැතිවරයා ගමනාගමන කොමිෂන් සභාවට හා අමාත්‍යාංශයේ ලේකම්වරයාට ඊයේ (19 දා) උපදෙස්‌ දී තිබේ.

එසේම බස්‌ ධාවනය සම්බන්ධයෙන් වන ගැටලු පිළිබඳව හා බස්‌ ගාස්‌තු සම්බන්ධව අදාළ නිර්නණායකයන් ලබන ජනවාරි 01 වැනිදා වන විට සකස්‌ කොට අවසන් කරන ලෙසට ද ඇමැති නිමල් සිරිපාල ද සිල්වා අදාළ නිලධාරීන්ට උපදෙස්‌ දී ඇත.

මේ අනුව සියයට 4 කින් බස්‌ ගාස්‌තු වැඩි වීම තම සංගමය අනුමත කරන බවත්, ඒ අනුව ලබන 24 වැනිදා ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ පෞද්ගලික බස්‌ වර්ජනය අත්හිටුවීමට තීරණය කළ බවත් සමස්‌ත ලංකා පෞද්ගලික බස්‌ රථ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් සහ ලංකා පෞද්ගලික බස්‌ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විඡේරත්න යන මහත්වරු සඳහන් කළහ.

මේ අතර සියයට 4 කින් බස්‌ ගාස්‌තු ඉහළ දැමුවද අධිවේගී මාර්ගවල සහ අර්ධ සුඛෝපභෝගී බස්‌ සේවාවන්වල පවතින ගාස්‌තුවේ වෙනසක්‌ සිදු නොවන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කර සිටී.
Views
23
2018-09-20 00:44:07
කාලීන පුවත්
ජනප්‍රිය පුවත්