ශ්‍රී ලංකන් - මිහින් ලංකා මහජන බැංකුවෙන් ගත් ණය ගෙව්වේ නෑ - මහජන බැංකුවේ සහකාර කළමනාකාරිනිය කොමිසමට කියයි

- ශ‍්‍රී ලංකන් ගුවන් සමාගම සහ මිහින් ලංකා ගුවන් සමාගම විසින් මහජන බැංකුවෙන් ලබාගෙන ඇති මහා පරිමාණ ණය මුදල් සියල්ලම ආපසු ගෙවීම එම සමාගම් දෙක විසින් පැහැර හැර ඇති බව මහජන බැංකුවේ සහකාර කළමනාකාරිනී (ආයතනික ණය අංශය* කුමාරි නයනා සේනාරත්න මහත්මිය ඊයේ (17 දා* ශ‍්‍රී ලංකන් - මිහින් ලංකා ජනාධිපති කොමිසම හමුවේ සාක්‍ෂි දෙමින් කීවාය.

මේ අනුව ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් මහජන බැංකුවෙන් ලබාගෙන ඇති ඇමරිකානු ඩොලර් මිලියන සියයක සහ රු. බිලියන 13.35 ක ණය මුදල් මේ දක්‌වා ගෙවා නැති බවත් දිගින් දිගටම පොලිය පමණක්‌ ගෙවා ඇති බවත් සාක්‍ෂිකාරිය කොමිසමට කීවාය.

අදාළ ණය මුදල් පියවිය යුතු කාලය පසුවීමෙන් පසුව දිගින් දිගටම මහා භාණ්‌ඩාගාරයේ පහසුකම් ලිපි ඉදිරිපත් කරමින් එම ණය මුදල්වල කාලය දික්‌කරගෙන ඇති බවද සාක්‍ෂිකාරිය කීවාය.

එසේ ණය මුදල්වල කාලය දික්‌කර ගනු ලැබුවත් එම ණය මුදල්වල මුල් මුදලින් (ප්‍රාග්ධන වටිනාකමෙන්) ශත පහක්‌ හෝ මේ දක්‌වා ගෙවා නැතැයි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ මිලින්ද පතිරණ මහතා විසින් අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඇය කීවාය.

මේ සියලු ණය මුදල් වත්මන් රජය යටතේ ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් ගෙන ඇති බවත් ශ්‍රී ලංකන් ගුවන් සමාගම මින් ප්‍රථම මුදල අයෑදුම් කර ඇත්තේ 2015 ජුලි මාසයේදී බවත් සාක්‍ෂිකාරිය කීවාය.

කොමිසම ඊයේ (17 දා) උදේ 10.00 ට පමණ කොමිසමේ සභාපති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අනිල් ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්‌විය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
Views
63
2018-09-17 22:54:33
ව්‍යාපාර පුවත්