ආනයනික රෙදි පිළි බද්ද සියයට 10 කින් බස්‌සයි


ආනයනික රෙදිපිළි මත පනවා තිබූ සියයට 15 ක බද්ද වහාම ක්‍රියාත්මක වන පරිදි සියයට 5 දක්‌වා අඩුකර ඇතැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසයි.

රෙදිපිළි කර්මාන්තයේ නිරත පාර්ශ්වයන්ගේ ඉල්ලීම්වලට ප්‍රතිචාර දක්‌වමින් මේ තීරණය ගෙන තිබේ.

ඒ අනුව රෙදිපිළි ආනයනයේදී අයකළ වැට්‌ බද්ද සියයට 5 දක්‌වා අඩු කිරීමේ ගැසට්‌ නිවේදනයට මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා ඊයේ අත්සන් කළ අතර මේ බදු අඩු කිරීම අද (18 වැනිදා) සිට ක්‍රියාත්මක වන බව ද එම අමාත්‍යාංශය කියයි.

මීට පෙර රෙදිපිළි ආනයනයේදී කිලෝග්‍රෑම් එකක්‌ සඳහා රුපියල් 100 ක්‌ සෙස්‌ බද්දක්‌ අය කෙරිණි. 2018 අයවැය මඟින් භාණ්‌ඩ මත 15% ක වැට්‌ බද්දක්‌ පනවමින් 2002 අංක 14 දරන වැට්‌ බදු පනත සංශෝධනය කෙරුණු අතර එය 2018 අගෝස්‌තු මස 16 වැනිදා සිට ක්‍රියාත්මක කෙරිණි.

ඒ අනුව ආනයනික රෙදිපිළි ද 15% වැට්‌ බද්දට යටත් විය. මේ හේතුවෙන් තමන් මහත් පීඩාවට පත්ව ඇති බව කුඩා පරිමාණ නිමි ඇඳුම් කර්මාන්තකරුවන්, වෙළෙන්දන් සහ ආනයනකරුවන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ අවධානයට ලක්‌ කළහ.

එන්ටප්‍රයිස්‌ ශ්‍රී ලංකා සහන ණය වැඩසටහන යටතේ ව්‍යවසායකයන් ලක්‍ෂයක්‌ බිහි කිරීමේදී සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්, නිමි ඇඳුම් නිෂ්පාදකයන්ට ද මෙම ආනයනික රෙදිපිළි මත වූ වැට්‌ බද්ද පහත හෙළීමෙන් විශේෂ සහන හිමි වනු ඇත.

දැනට වැට්‌ ව්‍යqහයට යටත් නොවන සුළු හා මධ්‍ය පරිමාණ ඇඟලුම් නිෂ්පාදකයන්ට ද මෙමඟින් අවශ්‍ය ආනයනික රෙදිපිළි මිලදී ගැනීමේදී සහන හිමිවේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
Views
59
2018-09-17 22:08:53
ව්‍යාපාර පුවත්