මෙන්ඩිස් සමාගමේ ලේඛන විනාශ කිරීම පිටුපස කතාව
සුජිත් අල්විස් නමැත්තාගෙන් 2018.03.31 දින ප‍්‍රශ්න කර වැඩිදුර ප‍්‍රකාශයක් සටහන් කර ගත් බවත් එමගින් ඔහු ගෙවීම් වවුචර විනාශ කර ඒ වෙනුවට ව්‍යාජ වවුචර ඇතුළත් කිරීමේ සිද්ධිය පිළිගෙන ඇති බවත් එම දෙපාර්තමේන්තුව උසාවියට ඉදිරිපත් කළ වැඩිදුර වාර්තාවේ දැක්වේ. එම ප‍්‍රකාශයේදී ඔහු එසේ විනාශ කළ ගෙවීම් වවුචර අතර සින්නයියා නමැත්තාට ලබා දී තිබූ මිලියන දහයක වටිනාකමකින් යුතු චෙක් පත වෙනුවෙන් නිකුත් කළ වවුචරය ද තිබුණු බව පිළිගෙන ඇත. එම වවුචර විනාශ කළේ ප‍්‍රධාන විධායක නිලධාරී සුනෙත් අබේකෝන් යන අයගේ උපදෙස් මත බවද ඔහු තවදුරටත් ප‍්‍රකාශ කර තිබේ.

ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගම මගින් ලබාදුන් පර්පෙචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගමේ මුදල් දුන්නේ කාටදැයි හෙළි වීම වැලැක්වීම සඳහා එම චෙක්පත්වලට අදාළ වවුචර්පත් විනාශ කර ඇති බව පසුගිය නඩු දිනයේදී කොටුව මහෙස්ත‍්‍රාත් අධිකරණයේදී හෙළිදරව් විය. මේ අනුව බැඳුම්කර ජනාධිපති කොමිෂන් සභාව සකී‍්‍රයව තිබියදී පර්පෙචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගම විසින් ලබාදුන් මුදල් සැක සහිත ලෙස තුන්වැනි පාර්ශ්වයකට බෙදාදීමට අදාළ මුදල් චෙක්පත්වලට සම්බන්ධ වවුචර්පත් 102 ක් ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගම විසින් විනාශ කර ඇති බවට සාක්ෂි ඉදිරිපත් වී ඇතැයි ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතා ඉකුත් සැප්තැම්බර් 13 දා අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනවියට දැනුම් දුන් බව මාධ්‍ය වාර්තා කර තිබිණි. එලෙස නිකුත් කළ මුදල් චෙක්පත් 102 ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වනවිටත් සොයාගෙන ඇති බව ද යසන්ත කෝදාගොඩ මහතා එහිදී පවසා තිබේ. අධිකරණයේදී හෙළි වූ පරිදි ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරිවරයාගේ උපදෙස් මත එකී වවුචර්පත් විනාශ කර ඇත. ඉන්පසුව ඒ වෙනුවට වෙනත් වවුචර්පත් සකස් කොට අලූතින් පරිගණක ගත කිරීමට පියවර ගත් බවට එම ආයතනයේ ගිණුම් අංශය භාරව කටයුතු කළ ප‍්‍රධාන නිලධාරීන් සිව්දෙනකු ප‍්‍රකාශ ලබාදී ඇතැයි ද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එහිදී අධිකරණයට පෙන්වා දුන්නේය. මේ විනාශ කළ වවුචර්පත් අතර සින්නයියා නමැත්තකුට ලබා දුන් රු. මිලියන දහයක් වටිනා චෙක්පත වෙනුවෙන් නිකුත් කළ වවුචරය ද තිබී ඇති බව අධිකරණයේදී හෙළි විය. මේ සින්නයියාගේ සම්බන්ධය ඇත්තේ කාටද? මෙන්ඩිස් සමාගම මෙසේ චෙක් වවුචර්පත් විනාශ කර ඇත්තේ ඇයි? චෙක් වවුචර්පත්වලින් අදාළ චෙක්පත දුන්නේ කාටද ඒ කුමකටද යන කරුණු සොයා ගත හැකි නිසා විය හැකිය.

fea8 2මහ බැංකු බැඳුම්කර වංචාවෙන් අයුතු ලෙස උපයා ගත් මුදල් එකී වංචාව සඳහා ආධාර අනුබල දුන් පුද්ගලයන් ඇතුළු තුන්වැනි පාර්ශ්වයකට පේ‍්‍රෂණය වීම සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගමේ වැඩබලන ප‍්‍රධාන විධායක නිලධාරිවරයා ලෙස කටයුතු කරන සජිත් කළුපතිරණ නමැත්තා බාධා කර ඇතැයි ද යසන්ත කෝදාගොඩ මහතා එදින අධිකරණයට පැවසීය. සජිත් කළුපතිරණ නමැත්තා එලෙස බාධා කර ඇත්තේ අධිකරණයේ නියෝග මත විමර්ශන සිදු කළ නිලධාරීන්ට බවත් එමගින් ඔහු අධිකරණ නියෝග කඩකර අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවත් යසන්ත කෝදාගොඩ මහතා අධිකරණයට පෙන්වා දුන්නේය. එම නිලධාරියා එලෙස කර ඇත්තේ චේතනාන්විතව නම් ඒ ගැන පියවර ගැනීමේ හැකියාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවතින බව එහිදී මහෙස්ත‍්‍රාත්වරිය පෙන්වා දුන්නාය. රජයේ නිලධාරියකුගේ රාජකාරියට බාධා කිරීමේ චෝදනාව යටතේ එම පුද්ගලයාට එරෙහිව අවශ්‍ය පියවර ගැනීමේ හැකියාව ඇතත් ප‍්‍රථමයෙන් ඒ ගැන අධිකරණයට පැමිණිලි කළ බව පෙන්වා දුන් ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා ඒ සම්බන්ධයෙන් සුදුසු නියෝගයක් නිකුත් කරනා ලෙස ඉල්ලා සිටි බව මාධ්‍ය වාර්තා කර තිබිණි.

සුජිත් අල්විස් නමැති සිය සේවාදායකයාගේ සමාගමේ සේවය කරන නිලධාරියාට 50 වරකට වඩා ගෙන්වා ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගමට එරෙහිව එවැනි පාපොච්චාරණයක් කරන තත්ත්වයකට ඔහු පත්කර එවැනි ප‍්‍රකාශයක් ලබාගෙන ඇතැයි එහිදී ඩබ්ලිව්. එම්. මෙන්ඩිස්් සමාගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කෝලිත ධර්මවර්ධන මහතා කීවේය . ප‍්‍රශ්නගත බැඳුම්කර වෙන්දේසිවලට පෙර පර්පෙචුවෙල් ට‍්‍රෂෙරීස් සමාගම විසින් උපාය ගත් මුදල් ද ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් තහනමට ලක් කර ඇති බැවින් රුපියල් බිලියන 12 කට අධික මුදලින් එක් බිලිනයක් මුදාහැරීමට ශ‍්‍රී ලංකා මහ බැංකුවට නියෝගයක් කරන්නැයි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. පර්පෙචුවෙල් ට‍්‍රෂෙරීස් සමාගම විසින් අයථා ලෙස උපයා ගත්තේ යැයි චෝදනා එල්ල වී ඇත්තේ රුපියල් මිලියන 688 වැනි මුදලක් පමණක් බැවින් සමාගම ඉල්ලා සිටින රුපියල්

බිලිනයක මුදල මුදාහැරීමෙන් නඩුවේ කටයුතුවලට කිසිදු බාධාවක් නොවනා බව ද ජනාධිපති නීතිඥවරයා අධිකරණයට කීවේය. නීතිඥ අරවින්ද ගමගේ, ජ්‍යෙෂ්ඨ නීතිඥ සජිත ජයවර්ධන, ලලිත අමරසේන, ජීවන්ත ජයතිලක ඇතුළු නීතිඥ මණ්ඩලයක් සමඟ ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා විත්තිය නියෝජනය කළ

අතර රජයේ අධිනීතිඥ උදාර කරුණාතිලක, රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ලක්මිණි ගිරිහාගම මෙනවිය, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් හරිප‍්‍රියා ජයසුන්දර මහත්මිය සහ ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතා එදින (13* පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටියේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිය විමර්ශනයෙදී අනාවරණය කරගන්නා ලද ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගම විසින් නිකුත් කර ඇති චෙක්වලට අදාළ වවුචර්පත් එම දෙපාර්තමේන්තුව විසින් ඉල්ලා සිටියත් ඔවුන් විවිධ හේතු ඉදිරිපත් කරමින් ඒවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කිරීමට කල් ගනිමින් සිටියේය. මේ බව එම දෙපාර්තමේන්තුව විසින් 2018.07.05 දින අධිකරණයට වාර්තාවක් ගොනු කරමින් දැනුම් දෙන ලදී. විමර්ශන නිලධාරීන්ට හැඟී ගොස් තිබුණේ එම සමාගම සාක්ෂි විනාශ කිරීමට ප‍්‍රයත්න දරන බවයි. මේ නිසා එම සමාගමේ කාර්යාල පරිශ‍්‍රය පරීක්ෂා කොට එහි තිබෙන පරිගණක පද්ධතිය, වවුචර් පොත් සහ ඊට සමගාමීව පවත්වාගෙන යන අනෙකුත් ලෙජර් පොත් පරීක්ෂා කිරීමට සහ එම ලේඛන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගැනීමට මෙන්ම එම සම්පුර්ණ පරිගණක පද්තිධයේ ක්ලෝන පිටපතක් ලබා ගැනීමට අධිකරණ විසින් නියෝගයක් නිකුත් කර තිබිණි. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් 2018.07.05 දින අධිකරණයට ඉදිරිපත් කරන ලද වාර්තාවට අනුවය. එම නියෝගයට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගමේ කාර්යාල

පරිශ‍්‍රයට 2018.07.06 දින සිට 2018.07.13 දින දක්වා කාලය තුළ ඇතුළු වීමට අවසර ලබා දී තිබිණි. එහෙත් ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගම අධිකරණයට මෝසමක් ඉදිරිපත් කරමින් කියා සිටියේ තම පරිගණක පද්ධතියේ සම්පුර්ණ ක්ලෝන පිටපතක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා ගැනීමට ඉඩ දුනහොත් සමාගම සතුව ඇති අතිශය සංවේදී තොරතුරු බාහිර පාර්ශ්වයන් අතට පත් වීමෙන් සමාගමට ඇති විශාල මූල්‍ය අලාභයක් විය හැකි බවයි. ඒ කරුණු සැලකිල්ලට ගෙන 2018.07.11 දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට ගොනු කරන ලද වාර්තාවෙන් ඉල්ලා සිටියේ අවම වශයෙන් එම සමාගමේ පරිගණකය මගින් පවත්වාගෙන යන ගෙවීම් පද්ධතියේ ක්ලෝන පිටපතක් ලබා දෙන ලෙසයි. එම වාර්තාව සැලකිල්ලට ගත් අධිකරණය එම කාර්යාලයේ පවත්වාගෙන යන වවුචර් පොත් සහ ඊට සමගාමීව පවත්වාගෙන යන ලේජර පොත් පරීක්ෂා කර එකී ලේඛන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ භාරයට ගැනීමට අධිකරණය අවසර දෙන දෙන ලදී. මේ කරුණු සැලකිල්ලට ගනිමින් උසාවිය ලබා දුන්නේ සංශෝධිත අධිකරණ නියෝගයකි.

මේ නියෝග ප‍්‍රකාරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගැන පරීක්ෂණ කර ගෙන ගොස් තිබේ. ඒ අනුව සුජිත් අල්විස් නමැත්තාගෙන් 2018.03.31 දින ප‍්‍රශ්න කර වැඩිදුර ප‍්‍රකාශයක් සටහන් කර ගත් බවත් එමගින් ඔහු ගෙවීම් වවුචර විනාශ කර ඒ වෙනුවට ව්‍යාජ වවුචර ඇතුළත් කිරීමේ සිද්ධිය පිළිගෙන ඇති බවත් එම දෙපාර්තමේන්තුව උසාවියට ඉදිරිපත් කළ වැඩිදුර වාර්තාවේ දැක්වේ. එම ප‍්‍රකාශයේදී ඔහු එසේ විනාශ කළ ගෙවීම් වවුචර අතර සින්නයියා නමැත්තාට ලබා දී තිබූ මිලියන දහයක වටිනාකමකින් යුතු චෙක් පත වෙනුවෙන් නිකුත් කළ වවුචරය ද තිබුණු බව පිළිගෙන ඇත. එම වවුචර විනාශ කළේ ප‍්‍රධාන විධායක නිලධාරී සුනෙත් අබේකෝන් යන අයගේ උපදෙස් මත බවද ඔහු තවදුරටත් ප‍්‍රකාශ කර තිබේ. මේ ගෙවීම් වවුචර විනාශ කිරීමට හේතුව කුමක්දැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අසන ලද ප‍්‍රශ්නයට පිළිතුරු ලෙස ඔහු ප‍්‍රකාශ කර ඇත්තේ මෙම සින්නයියා නමැති අය රවි කරුණානායකට සම්බන්ධයක් ඇති ග්ලෝබල් ටවර්හි මුල්‍ය මෙහෙයුම් නිලධාරී ලෙස කටයුතු කරන බවත්, එම තැනැත්තාට ලබා දුන් මුදල් රවි කරුණානායකට ඔහු මගින් ලබා දී ඇති නිසා එම ගෙවීම්වලට අදාළ වවුචර්පත් ඉවත් කරන ලෙසට අර්ජුන ඇලෝසියස්, සුනෙත් අබේකෝන් යන අයට ලබා දුන් උපදෙස් අනුව ඔවුන් එම වවුචර්පත් විනාශ කළ බවය. මේ ආකාරයට මෙන්ඩිස් සමාගම සිය චෙක්පත්වලට අදාළ ගෙවීම් වවුචර්පත් විනාශ කිරීමේ හේතුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිය වැඩිදුර විමර්ශන වාර්තාව මගින් උසාවියට හෙළිකර හමාරය. මෙය දැන් මාධ්‍ය හරහා රටටම හෙළි වී අවසන්ය. මේ අතර නීතිපති දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග අනුව අපට දනගන්නට ඇත්තේ රවි කරුණානායකට එරෙහිව අපරාධ චෝදනා ගොනු කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනටමත් පියවර ගෙන ඇති බවයි. මේ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් බැඳුම්කර කොමිසන් සභා වාර්තාවේ නිර්දේශයකට අනුව රවි කරුණානායක මහතාට එරෙහිව කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් අධිකරණයේ චෝදනා ගොනු කර ඇත. ඊට අදාළ වැඩිදුර විමර්ශන වාර්තා කිරීම සඳහා එම නඩුව මේ මස 28 දින කැඳවන ලෙස ද ඉල්ලීමක් කර ඇත.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
Shyam.divaina@gmail.com
Views
87
2018-09-17 16:34:09