ඉන්ධන මිල සූත‍්‍රය ගැන ඉදිරි අයවැයෙන් තීරණයක් ගන්නවා - ජනපති මාධ්‍ය ප‍්‍රධානීන්හට කියයි

ඉන්ධන මිල සූත‍්‍රය තවදුරටත් පවත්වාගෙන යනවා ද එසේ නැතහොත් සංශෝධනය කරනවා ද යන්න ඉදිරි අයවැයෙන් තීරණයක් ගන්නා බව ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා සඳහන් කළේය.

ජනාධිපති මන්දිරයේදී ඊයේ (14 වැනිදා) මාධ්‍ය ප‍්‍රධානීන් හමුවූ අවස්ථාවේදී මේ බව පැවැසීය.

තෙල් මිල සූත්‍රය හඳුන්වා දීමෙන් පසුව එය ඉහළටම යැම පිළිබඳව ජනතාවගෙන් බැණුම් ඇසීමට සිදුව ඇතැයිද මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන නොවැම්බර් 8 වැනිදා පාර්ලිමේන්තුවට අයවැය ඉදිරිපත් කරන අවස්‌ථාවේදී මේ සම්බන්ධයෙන් තීරණයක්‌ ගන්නා බවද ජනාධිපතිවරයා කියා සිටියේය.

මෙහිදී සිsංගප්පූරු ගිවිසුම ගැන අදහස්‌ දැක්‌වූ ජනාධිපතිවරයා සඳහන් කළේ අදාළ ගිවිසුම් පිළිබඳ විවිධ චෝදනා එල්ල වී ඇති බවය.

මෙම තත්ත්වය හමුවේ සිංගප්පූරු ගිවිසුමෙහි රටට යම් අහිතකර තත්ත්වයක්‌ උදාවේ නම් ඒ පිළිබඳව සොයා බැලීමට විද්වත් කමිටුවක්‌ පත් කර ඇතැයිද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

මෙම විද්වත් කමිටුවට සිංගප්පූරු ගිවිසුමෙන් රටට වන අහිතකර තත්ත්වයක්‌ තිබේ නම් ඒ සඳහා අදහස්‌ සහ යෝජනා ඉදිරිපත් කළ හැකි බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ඉදිරියේදී විද්වත් කමිටුවේ නිරීක්‍ෂණ සහ නිගමන අනුව එම ගිවිසුමෙන් රටට අහිතකර තත්ත්වයන් තිබේ නම් ඒවා ඉවත් කරන බවද ඉන් බරපතළ බලපෑම් රටට එල්ල වේ නම් ඒ ගැන තීරණයක්‌ ගන්නා බවද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.

සිංගප්පූරු ගිවිසුමෙන් මෙම අහිතකර තත්ත්වයක්‌ උදාවෙනවා නම් ඒවා පෙන්වා දෙන ලෙස තමන් විද්වතුන්ගෙන් ඉල්ලා සිටින බවද මෙහිදී ජනාධිපතිවරයා කියා සිටියේය.

යුද්ධයෙන් පසුව ඇතිවී තිබෙන තත්ත්වයන් සුහදව විස¹ ගැනීම සඳහා එක්‌සත් ජාතීන්ගේ මහා මණ්‌ඩලයට නව යෝජනාවලියක්‌ ඉදිරිපත් කරන බවද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.

ලබන 25 වැනිදා අදාළ යෝජනාව එක්‌සත් ජාතීන්ගේ මහා මණ්‌ඩලයට ඉදිරිපත් කරන බවත් ඒ මගින් යුද්ධයෙන් පසුව අප රටට එල්ල වී ඇති මානව හිමිකම් චෝදනා පිළිබඳව යම් විසඳුමකට ඒමට හැකිවනු ඇතැයිද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

යුද සමයේදී මානව හිමිකම් කඩවුණු බවට දෙමළ ඩයස්‌පෝරාව එල් ටී ටී ඊ සංවිධානයට සම්බන්ධ පිරිස්‌ මෙන්ම සමහර රාජ්‍ය නොවන සංවිධාන චෝදනා එල්ල කරමින් සිටින බවද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.

විශේෂයෙන් පසුගිය රජය සමයේදී ශ්‍රී ලංකාවට මානව හිමිකම් කඩ කිරීම් පිළිබඳ ප්‍රබල ලෙස චෝදනා නැඟුණු බවත් ඉන් රටට බරපතළ අවාසිදායක තත්ත්වයක්‌ නිර්මාණය වූ බවත් මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා එම තත්ත්වය වත්මන් රජය විසින් වෙනස්‌ කර ඇතැයිද පෙන්වා දුන්නේය.

තමන් බලයට පත් වන විට රටට ආර්ථික සම්බාධක පැනවී තිබුණු බවත් ඒ අනුව අපේ මාළුවලට යුරෝපා වෙළෙඳපොළ අහිමිවූ බවත් ඇඟලුම්වලට පවා ජීඑස්‌පී බදු සහනය අහිමි වුණු බ වත් මෙහිදි පෙන්වා දුන් ජනාධිපතිවරයා, හිටපු ජනාධිපතිවරයා තමන්ට වසර දෙකක්‌ තිබියදී ජනාධිපතිවරණයට ගියේ මෙහි බරපතළකම තේරුණු නිසා බවද සඳහන් කළේය.

රටේ ජාතික ආරක්‍ෂාව සම්බන්ධයෙන් විවිධ චෝදනා එල්ල වුවත් රටෙහි ආරක්‍ෂාව සම්බන්ධයෙන් කිසිදු ප්‍රශ්නයක්‌ පැනනැඟී නැතැයි ද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය. යුද්ධයක්‌a පැවැති කාලයේදී පෞද්ගලික හා රජයේ ඉඩම්වල ඉදිකළ තාවකාලික කඳවුරු ඉවත් කිරීම රටෙහි ආරක්‍ෂාවට තර්ජනයක්‌ නොවන බවත් සමහර මාධ්‍ය නිසි අවබෝධයකින් තොරව මේ පිළිබඳව චෝදනා එල්ල කරන බවද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

ලසන්ත ඝාතනය, තරුණයන් අට දෙනකු ඇතුළු එකළොස්‌ දෙනෙකු පැහැරගෙන ඝාතනය කිරීම, එක්‌නැලිගොඩ අතුරුදන් කිරීම් වැනි සිද්ධීන්ට අදාළව චූදිතයන්ට නඩු නොපවරා සාක්‍ෂිකරුවන්ව අත්අඩංගුවට ගැනීම, රඳවා ගැනීම් සහ පසුව නිදහස්‌ කිරීම යන කාරණා සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ක්‍රියා කලාපය නිවැරැදි නොවන බවද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

මෙහිදී ජනාධිපතිවරයා සහ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඝාතන කුමන්ත්‍රණය ගැන මාධ්‍යවේදීන් ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කළ අතර ඊට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා කියා සිටියේ පොලිස්‌ විශේෂ විමර්ශන ඒකකය මගින් ඒ පිළිබඳව වැඩිදුර පරීක්‍ෂණ පැවැත්වෙන බවයි.

මෙහිදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට ජනාධිපතිවරයා මෙසේ පිළිතුරු දුන්නේය.

මාධ්‍යය - පළාත් සභා කීපයක කාලය අවසන්. ඡන්දය පවත්වන්න ප්‍රමාද කරන්නේ ඇයි?

ජනාධිපතිවරයා - පසුගිය කාලයේ පැවැත්වූ පළාත් පාලන මැතිවරණයන් ප්‍රමාදයක්‌ වුණේ සීමානිර්ණ ගැටලු මතුවුණු නිසයි. නමුත් අප මනාප ක්‍රමය වෙනුවට අලුත් ක්‍රමයට ඡන්දය පැවැත්වූවා. එය ඉතා සාර්ථකයි. මනාප පොරයකින් තොරව සාධාරණව ඡන්දයක්‌ පැවැත්වූවා. පළාත් සභා ඡන්දයත් තියන්නේ කොට්‌ඨාස ක්‍රමයට . එය පවතින ගැටලු විස» විගස මැතිවරණ තියෙනවා. මැතිවරණ ප්‍රමාද කරන්න අපට කිසිම උවමනාවක්‌ නැහැ.

මාධ්‍යය - පාර්ලිමේන්තුවේ කීපවිටක්‌ම ගණ පූර්ණය නැතිව කල් තැබුවා. පාර්ලිමේන්තුවට දිනකට විශාල මුදලක්‌ වැය වෙනවා. ජනතා නියෝජිතයන්ගේ මෙම හැසිරීම වළක්‌වන්න පියවරක්‌ ගන්නේ නැද්ද?

ජනාධිපතිවරයා - සාමුහික වගකීම කියන එක මන්ත්‍රීවරු අමතක කරලා. එය මම අනුමත කරන්නේ නැහැ. තියෙන රෙද්දත් විකුණලයි ඡන්දය කරන්නේ. නමුත් සමහරුන්ට මෙය ටික කාලයක්‌ යනවිට අමතක වෙනවා.

සමහරු පාර්ලිමේන්තු එන්නේත් නැහැ. ගමට යන්නෙත් නැහැ. මම දකින්නේ අද දේශපාලනය තුළ ගුණාත්මකභාවය නැති සංස්‌කෘතියක්‌ බිහිවෙලා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මෙලෙස හැසිරෙන්නේ ඇයි. පාර්ලිමේන්තුව වගේම කැබිනට්‌ බහුතරයක්‌ නැති ආණ්‌ඩුවක්‌ තිබීමත් මන්ත්‍රීවරුන්ගේ විනය පිරිහෙන්න හේතුවෙලා තියෙනවා.

මාධ්‍යය - රුපියල තවදුරටත් පිරිහෙනවා. මෙම තත්ත්වය වළක්‌වා ගන්න පියවරක්‌ ගන්නේ නැද්ද? ඉන්ධන මිල ඉහළයැමට මෙය බලපානවා.

ජනාධිපතිවරයා - එහෙත් අනිත් අතටම රුපියල පිරිහෙන්න අරිනවා කියන මතයේ අපි නැහැ. ආර්ථික විශේෂඥයන්ගේ උපදෙස්‌ මතයි ක්‍රියා කරන්නේ. මෙහි වාසි වගේම අවාසිත් තියෙනවා. අපි උත්සාහ කරනවා ඩොලරයට සාපේක්‍ෂව රුපියල පිරිහීම වළක්‌වා ගන්න.

මෙම යෝජනාවලිය එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ කොමසාරිස්‌වරිය වෙත මෙන්ම එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා වෙත ද ලිතව භාරදීමට අපේක්‍ෂා කරන බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

මාධ්‍යවේදීන් සහ සිවිල් වැසියන් පැහැර ගැනීම්, ඝාතනය කිරීම් ඇතුළු සිදුවීම්වලට අදාළව 2015 වසරේ සිට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන පරීක්‍ෂණවල පවතින යම් යම් දොaෂ සහිත ස්‌ථාන පිළිබඳව ද මෙහිදී අදහස්‌ දැක්‌වූ ජනාධිපතිතුමා සැකකරුවන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ රඳවා ගත්ත ද එම කිසිවකුට මෙතෙක්‌ නඩු පවරා නොතිබීම හේතුවෙන් මතුව ඇති ගැටලුකාරී තත්ත්වය පිළිබඳව ද පැහැදිලි කළේය.

එමෙන්ම 2015 අගෝස්‌තු මාසයේ සිට ත්‍රිවිධ හමුදා නිලධාරීන් ද යම් යම් පරීක්‍ෂණ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන, රිමාන්ඩ් භාරයට පත්කර තිබුණ ද ඔවුන් කිසිවකුට එරෙහිව නඩු පවරා නොමැති අතර, ප්‍රමාණවත් හේතු සාධක තිබේ නම් නඩු පැවරීමට කටයුතු කිරීම මිස, අනවශ්‍ය ලෙස ඔවුන් රිමාන්ඩ් භාරයේ රඳවා තබා ගැනීම හේතුවෙන් රජය අපකීර්තියට පත්වන බව ද පෙන්වා දුන් ජනාධිපතිවරයා මේ පිළිබඳ තමා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට සහ පොලිස්‌පතිවරයා වෙත තදින් උපදෙස්‌ ලබාදුන් බව ද කියා සිටියේය.

රට තුළ සිදුවන සංවර්ධන වැඩපිළිවෙළ පිළිබඳව ද අදහස්‌ දැක්‌වූ ජනාධිපතිතුමා වාරි ක්‍ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් සිදුකෙරෙන වැව් ප්‍රතිසංස්‌කරණය කිරීමේ දැවැන්ත වැඩසටහන පිළිබඳව ද මාධ්‍ය ආයතන දැනුවත් කළේය.

අද වී සඳහා ඉහළ මිලක්‌ ලැබෙන අතර ඒ පිළිබඳ මාධ්‍ය ආයතනවලින් නිසි ප්‍රචාරයක්‌ නොලැබෙන බව ද සඳහන් කළ ජනාධිපතිවරයා වී මිල ඉහළ ගියද සහල් මිල ඉහළ යැමට ඉඩ නොතබා පාරිභෝගිකයාට සහන සලසමින් කටයුතු කිරීමට රජය වගබලාගෙන තිබෙන බව ද කියා සිටියේය.

උතුරේ සිංහල ජනතාව පදිංචි කරවන බවට පසුගිය දිනවල මුලතිව් ප්‍රදේශයේ ගෙනගිය උද්ඝෝෂණය පිළිබඳව ද අදහස්‌ දැක්‌වූ ජනාධිපතිතුමා සඳහන් කළේ ප්‍රතිපත්තියක්‌ ලෙස ඕනෑම ජන කොටසකට රටේ ඕනෑම තැනක ජීවත්වීමට අයිතියක්‌ තිබෙන බවයි. පළාත් භේදයෙන් තොරව සියලු ජනතාව සංහිඳියාවෙන් සහ සමගියෙන් ජීවත් වන රටක්‌ අපේක්‍ෂාව වන නමුත් අර්බුද ඇතිවන අයුරින් ජනාවාස ඇතිකිරීමක්‌ රජයේ මැදිහත්වීමෙන් සිදුවී නොමැති අතර, ඉදිරියට ද එලෙස සිදු නොකරන බව ප්‍රකාශ කළ ජනාධිපතිවරයා රජයට ඉදිරිපත් කර ඇති එම සියලු චෝදනා ප්‍රතික්‍ෂේප කරන බව ද කියා සිටියේ ය.

නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් කපිල වෛද්‍යරත්න යන මහත්වරු ඇතුළු පිරිසක්‌ ද මීට එක්‌ව සිටියහ.

Views
43
2018-09-14 23:23:21
ජනප්‍රිය පුවත්