තෙල් මිල සූත‍්‍රයේ අපභ‍්‍රංශය
පෙට‍්‍රල් සහ ඞීසල් මිල ගණන් යළිත් ඉහළ නංවා තිබේ. ඒ ඉකුත් සැප්තැම්බර් 10 වැනිදා මධ්‍යම රාත‍්‍රියේ සිටය. මේ ඞීසල් සහ පෙට‍්‍රල් මිල ගණන් වැඩි කළේ මේ රජය හඳුන්වා දුන් කවුරුත් දැක නැති ඉන්ධන මිල සූත‍්‍රයට අනුවය. මේ අනුව ඔක්ටේන් 92 පෙට‍්‍රල් ලීටරයක මිල රු. 145 සිට 149 දක්වා රු. 4 කින් ද ඔක්ටේන් 95 පෙට‍්‍රල් ලීටරයක මිල රු. 157 සිට 161 දක්වා ද ඉහළ නැංවෙන බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කර තිබුණි. එසේම ඔටෝ ඞීසල් ලීටරයක මිල රු. 118 සිට 123 දක්වා රු. 5 කින් ද සුපිරි ඞීසල් ලීටරයක මිල රු. 130 සිට රු. 133 දක්වා රු. 3 කින් ද ඉහළ නංවා ඇත. මේ අනුව ඉතාම කෙටි කාලයක් තුළ මුදල් අමාත්‍යාංශයේ කිහිප දෙනෙක් පමණක් දන්නා තෙල් මිල සූත‍්‍රයට අනුව ප‍්‍රධාන අවස්ථා හතරක දී පෙට‍්‍රල් සහ ඞීසල් මිල ගණන් සංශෝධනය කර තිබේ.

ලෝක වෙළෙඳපොළේ මිළ ඉහළ යන විට දේශීය තෙල් මිල ගණන් වැඩි වන බවත් එසේම ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ගණන් අඩු වනවිට දේශීය තෙල් මිල ගණන් අඩු කරමින් එම වාසිය ජනතාවට දෙන බවත් මේ ඉන්ධන මිල සූත‍්‍රය හඳුන්වා දුන් අවස්ථාවේ මුදල් ඇමැති මංගල සමරවීර මහතා මාධ්‍ය හමුවක් පවත්වමින් ජනතාවට ප‍්‍රකාශ කළ බව අපට මතකය. එහෙත් කිසිම අවස්ථාවක තෙල් මිල ගණන් අඩු වීමක් නම් තවමත් වූයේ නැත. හැම විටම වූයේ තෙල් මිල වැඩි කිරීමයි. රජය ඒ හැම විටම කළේ තවමත් රාජපක්ෂ යුගයේ තෙල් මිලට වඩා අපේ තෙල් මිල අඩු බව කියමින් එය සාධාරණීකරණය කිරීමයි. එහෙත් එදා ලෝක තෙල් මිල ගණන් සහ අද ලෝක තෙල් මිල ගණන් ගැන මේ අය පැහැදිලි යමක් කියන්නේ නැත. අනිත් අතට එදා ඇමෙරිකානු ඩොලරයේ අගය සහ අද එහි අගය අතර විශාල පරතරයක් තිබේ. එය ද තෙල් මිල ගණන් වැඩි වීමට බලපායි. මේ නිසා මිල වැඩි කරන අය පමණක් දන්නා ඉන්ධන මිල සුත‍්‍රය සකසා ඇත්තේ මේ විනිමය අනුපාතයේ බලපෑම ද ඇතුළත් වන පරිදිය. එසේ නම් දිගින් දිගටම රුපියල පිරිහෙමින් තිබෙන පසුබිමක ඔය කියන මිල සුත‍්‍රයට අනුව තෙල් මිල අඩු විය හැකිද? මේ ගැන කිසිවකුටත් අවබෝධයක් නැත්තේ ඔය කියන මිල සූත‍්‍රය සමාජයට තවමත් හෙළි නොකළ රහසිගත එකක් නිසාය.

fea8 2මුලින්ම මේ මිල සූත‍්‍රයට අනුව පසුගිය තෙල් මිල වැඩි කිරීම් ගැන අපේ අවධානය යොමු කරමු. මේ අනුව මුලින්ම මේ වසරේ (2018* මැයි 10 වැනිදා ඔක්ටේන් 92 පෙට‍්‍රල් ලීටරයක මිල රු. 117 සිට රු. 137 දක්වා ද ඔක්ටේන් 95 පෙට‍්‍රල් ලීටරයක මිල රු. 128 සිට රු. 148 දක්වා ද රුපියල් 20 කින් ඉහළ නංවන ලදී. එසේම ඔටෝ ඞීසල් ලීටරයක මිල රු. 85 සිට රු. 109 දක්වා ද සුපිරි ඞීසල් ලීටරයක මිල රු. 110 සිට 119 දක්වා ද වැඩි කරන ලදී. ඉන්පසු ජුලි 05 වැනිදා මධ්‍යම රාත‍්‍රියේ සිට පෙට‍්‍රල් ඔක්ටේන් 92 ලීටරයක් රු. 137 සිට 145 දක්වා ද පෙට‍්‍රල් ඔක්ටේන් 95 ලීටරයක් රු. 148 සිට රු. 155 දක්වාද ඉහළ දමන ලද අතර ඔටෝ ඞීසල් ලීටරයක මිල රු. 109 සිට 118 දක්වාද, සුපිරි ඞීසල් ලීටරයක මිල රු. 119 සිට රු. 129 දක්වා ද ඉහළ නංවන ලදී. යළි අගෝස්තු 10 වැනිදා මධ්‍යම රාත‍්‍රියේ සිට ක‍්‍රියාත්මක වන පරිදි සුපිරි පෙට‍්‍රල් ඞීසල් මිල ඉහළ නංවන ලදී. මේ අනුව ඔක්ටේන් 95 වර්ගයේ පෙට‍්‍රල් ලීටරයක මිල රු. 155 සිට රු. 157 දක්වා සහ සුපිරි ඞීසල් ලීටරයක මිල රු. 129 සිට රු. 130 දක්වා ද වැඩි කළේය. ඉන්පසු සිවුවැනි වතාවට ඉකුත් 10 දා මධ්‍යම රාත‍්‍රියේ සිට ක‍්‍රියාත්මක වන පරිදි ඔක්ටේන් 92 පෙට‍්‍රල් ලීටරයක මිල රු. 145 සිට - රු. 149 දක්වා සහ ඔක්ටේන් 95 පෙට‍්‍රල් ලීටරයක මිල රු. 157 සිට රු. 161 දක්වා ඉහළ නංවා ඇත. එසේම ඔටෝ ඞීසල් ලීටරයක මිල රු. 118 සිට රු. 123 දක්වාද, සුපිරි ඞීසල් ලීටරයක මිල රු. 130 සිට රු. 133 දක්වා ද ඉහළ නංවා ඇත. මේ අනුව සමස්තයක් ලෙස මේ වර්ෂයේ (2018* මැයි 10 දින සිට මේ දක්වා අවස්ථා හතරකදී ඔක්ටේන් 92 පෙට‍්‍රල් ලීටරයක මිල රු. 32 කින් ද ඔක්ටේන් 95 වර්ගයේ පෙට‍්‍රල් ලීටරයක මිල රු. 33 කින් ද ඉහළ ගොස් තිබේ. එසේම ඔටෝ ඞීසල් ලීටරයක මිල රු. 38 කින් සහ සුපිරි ඞීසල් ලීටරයක මිල රු. 23 කින් ද ඉහළ ගොස් තිබේ. මේ අනුව සැලකිය යුතු තෙල් මිල ඉහළ නැංවීමක් මේ රජය විසින් දැනටමත් කර තිබේ.

fea8 3මේ තෙල් වැඩි කිරීම ගැන පෙරේදා (11 වැනිදා* කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ පැවති උත්සවයකික් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා කීවේ ජාත්‍යන්තරයේ ඉන්ධන මිල සම්බන්ධයෙන් තිබෙන තත්ත්වය නිසා ඉන්ධන මිල ඉහළ දැමීමට සිදුවන බවයි. එහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ ජාත්‍යන්තරයේ ඉන්ධන මිල වැඩි වන විට මිල සූත‍්‍රය අනුව ඉන්ධන මිල වැඩිවන බවත් ජාත්‍යන්තරයේ මිල අඩු වනවිට ඒ වාසියත් ජනතාවට ලබා දෙන බවය. එහෙත් දිගින් දිගටම ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල පිරිහෙමින් තිබෙන පසුබිමක ඔය කියන පරිදි ලෝක තෙල් මිල ගණන් අඩු වීමේ වාසිය ජනතාවට ලබා දෙන්නේ කෙසේද? එය තරමක් හෝ සිදු වීමට ඉඩක් ඇතැයි අපට සිතෙන්නේ ලෝක වෙළෙඳපොළේ තෙල් මිල අඩු වීමේ වාසිය අපේ රුපියල පිරිහීමේ අවාසියට වඩා වැඩිවන්නේ නම් පමණක් බවයි. එහෙත් එය හෝ සිදුවනු ඇතිදැයි කියන්නට රජය ක‍්‍රියාත්මක කර ඇති තෙල් මිල සූත‍්‍රය කුමක් දැයි අප දැනගත යුතුය. එහෙත් තවමත් එය මුදල් අමාත්‍යාංශය හෙළිකර නැත. මෙය ජනතාවට ඉමහත් අප‍්‍රභංශයකි. මේ නිසා ඇත්ත වශයෙන්ම රජයේ තෙල් මිල ගණන් සංශෝධනය කිරීමේ ක‍්‍රමවේදය සමාජය නොදන්නා එකකි. රජය තවමත් හෙළිකර නැති එකකි. එය කුමක්දැයි වරක් මාධ්‍ය හමුවකදී ඇසු විට එය මහජනයාට හෙළි නොකළ මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා කීවේ තොරතුරු දැන ගැනීමේ පනත අනුව එය ඉල්ලා සිටින ලෙසයි. ඒ නිසා රජයේ තෙල් මිල ගණන් සංශෝධනය කිරීමේ ක‍්‍රමවේදය තවදුරටත් සඟවා ගනිමින් මේ අය කටයුතු කරමින් සිටී. ඒ නිසා රජය මේ සම්බන්ධයෙන් අනුගමනය කරමින් සිටින්නේ කිසිදු විනිවිදභාවකින් තොර අසාධාරණ පිළිවෙතක් බව කිව යුතුමය. මෙය යහපාලනයට කෙතරම් එකඟ පිළිවෙතක්ද?

දින තුනක් තුළ ආණ්ඩුව බස් ගාස්තුව සම්බන්ධව මිල සූත‍්‍රයක් හඳුන්වා නොදුන්නොත් බස් ගාස්තුව සියයට 10 කින් වැඩි කිරීමට සිදුවන බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සමිති සම්මේලනයේ සභාපති ස්ටැන්ලි ප‍්‍රනාන්දු මහතා ‘දිවයින’ට පවසා තිබුණි. ආණ්ඩුව ඉන්ධන මිල සම්බන්ධව හඳුන්වා දී ඇති මිල සූත‍්‍රය නිසා පසුගිය මස ඞීසල් ලීටරයක් රුපියල් 09 කින් ද මෙම මස රුපියල් 05 කින් ද ලෙස රුපියල් 14 කින් මිල ඉහළ ගොස් ඇතැයි ඔහු කියයි. මේ හේතුවෙන් කෙටි ගමන් වාරවල නිරත වන බස් රථයකට දිනපතා වැය කිරීමට සිදුවන ඉන්ධන මිල රුපියල් 2000 කින් පමණ වැඩි වී ඇතැයි ද මෙය කිසි ලෙසකින්වත් දැරිය නොහැකි බව ද ඒ මහතා පවසයි. එබැවින් රජය මේ පිළිබඳව වහා අවධානය යොමු කොට බස් ගාස්තුවට ද මිල සූත‍්‍රයක් හඳුන්වා නොදුනහොත් බස් ගාස්තුව සියයට 10 කින් ඉහළ දමන බවත් ආණ්ඩුව තම මාර්ග බලපත‍්‍ර අවලංගු කෙරුව ද ඊට බිය නොවී බස් ගාස්තුව ඉහළ දැමීමට ක‍්‍රියා කරන බව ද ස්ටැන්ලි ප‍්‍රනාන්දු මහතා වැඩිදුරටත් කියයි. මේ අතර ගැමුණු විජේරත්න සහ සරත් විජිත කුමාර යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් ඇති අනෙක් ප‍්‍රධාන බස් සංගම් වන ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සහ අන්තර් පළාත් බස් හිමියන්ගේ සංගමය ද බස් ගාස්තුව ඉහළ නැංවිය යුතුය යන මතයේ සිටින බව අපට දැනගන්නට ඇත. ඒ සම්බන්ධව එම සංගම්වල සාමාජිකයන් සමග සාකච්ඡුා කොට ඒ අය ගන්න තීරණය ද අපට ඉක්මනින්ම දැනගන්නට ලැබෙනු ඇත. මෙලෙස රජය මාසෙන් මාසෙට තෙල් මිල වැඩි කරන්න ගිය විට ඒ නිසා වෙළෙඳපොළේ අනෙකුත් සියලූම මිල මට්ටම් වලට බලපෑමක් සිදු වේ.යම් අවස්තාවක රජය ඔය කියන මිල සූත‍්‍රයට අනුව තෙල් මිල අඩු කළත් කලින් අවස්ථාවලදී තෙල් මිල වැඩි කිරීම නිසා ඉහළ ගිය අනෙකුත් මිල මට්ටම් වලට සිදු වන්නේ කුමක්ද? අඩු තරමේ බස් ගාස්තුව හෝ අඩු වනු ඇතිද? මේ සම්බන්ධයෙන් රජයට කිසිම වැඩපිළිවෙළක් ඇති බවක් නම් තවමත් පෙනෙන්නට නැති බව මහජනතාව වෙනුවෙන් කනගාටුවෙන් වුවත් කීමට සිදු වේ. මුදල් අමාත්‍යාංශය ක‍්‍රියාත්මක කරන මේ තෙල් මිල සූත‍්‍රය රජයේ මැති ඇමැතිවරුන් හෝ දන්නවා දැයි අපි නොදනිමු. මහින්ද සමරසිංහ ඇමැතිවරයා මාධ්‍ය ඇසූ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් පසුගිය දා කීවේ තමා ද තෙල් මිල සූත‍්‍රය දැක නැති බවයි. ඒ නිසා මෙය වහාම රටට හෙළි කරන ලෙස මහජනතාව වෙනුවෙන් අපි මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටිමු.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
Shyam.divaina@gmail.com
දිවයින -2018.09.13 දින
Views
14
2018-09-13 15:40:52