ජන බලය 'සහ ආණ්ඩු බලය


තවමත් විරෝධතා කරුවෝ ලේක්හවුස් වට රවුම අසල රැදී සිටිති.මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා කීවේද මෙය නොනිදන රයක් බවයි.සැම දේශපාලන පක්ෂයටම විවිධ මට්ටමින් ජනතා පිරිස් සිටිති.එහෙත් ආණ්ඩු පත් කරන්නේත් ගෙදර යවන්නේත් බහුතර " ජන බලය "විසිනි.එහෙත් මේ ජනතා බලය මතින් බලයට පත් වන අය තමන් බලයට පත් කළ බහුතර ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් ක්‍රියා කරන්නේද ? නැත්නම් තම මඩිය තර කර ගැනීමට ,එසේත් නැත්නම් තම ගජ මිතුරන්ට , මස්සිනාවරුන්ට හෝ ඥාතීන්ට මහජන මුදල් සමග රිසි සේ පන්දු කෙළින්නට ඉඩ දෙන්නේද ? මහජන අපේක්ෂාව කුමක්ද ? කවර ආණ්ඩුවක් හෝ බලයට පත් කරන බහුතර ජනතා අපේක්ෂාව වනුයේ තමන්ගේ ජන්දයෙන් බලයට පත් වන පාලකයන් ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් ක්‍රියා කරනු ඇති බවයි.එහෙත් මේ යහපාලන ආණ්ඩුව යටතේ සිදු වූ බැදුම්කර මගඩි දෙස බැලුවත් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව යටතේ ශ්‍රී ලංකන්ගුවන් ගුවන් සමාගමේ සිදුව ඇති දේවල් බැලුවත් පෙනෙන්නේ මහජන ජන්දයෙන් බලයට පත්වන පාලකයන් මහජන අපේක්ෂා අමතක කරමින් කටයුතු කර ඇති බවයි.මේ රටේ යුද්ධය අවසන් කළ නායකයා වශයෙන් මහින්ද රාජපක්ෂ මහතාට මහජනයා තුළ අසීමිත ගව්රවයක් තිබේ.එය අදටත් තිබේ.අදටත් රටේ අංක එකට ජනප්‍රිය දේශපාලන නායකයා මහින්ද රාජපක්ෂ මහතාම මිස අන් කවරෙක් වත් නොවේ.මහින්ද රාජපක්ෂ ජනප්‍රිය දේශපාලන නායකයෙක් බව පෙරේදා (04) මුදල් අමාත්‍යංශයේදී පැවති මාධ්‍ය හමුවේදී මංගල සමරවීර ඇමැතිවරයාද පිළිගත්තේය. රටේ අංක එකට ජනප්‍රිය දේශපාලන නායකයා වුවත් ඔහු 2015 ජනවාරි 08 දින ජනාධිපතිවරණයෙන් ඔහු සභාපතිත්වය දැරූ පක්ෂයේ ලේකම්වරයා වූ මෛත්‍රීපාල සිරිසේනට පරාජය
වුයේය. ඒ ඇයි ? එසේ වුයේ ඇයි ද යන්න ගැන තවමත් මහින්ද රාජපක්ෂලා නිසි ලෙස හදුනාගෙන තිබේද ? මහින්ද රාජපක්ෂ පරාජය වුයේ ඔහුගේ ජනප්‍රියභාවයේ අඩුවක් නිසාවත් ඔහුට පැවති ගව්රවයේ අඩුවක් නිසාවත් නොවේ. ආණ්ඩුවේ වැරදි නිසාය. විදේශ බලවේග ඒ පිටුපස සිටියා විය හැකිය.එහෙත් අවසානයේ ජන්දය දෙන්නේ රටේ ජනතාවය.ඒ නිසා තම ආණ්ඩුවේ වැරදිවලට ඔහු නිසි පියවර නොගත්තේය.මේ දිනවල ශ්‍රී ලංකන් - මිහින් ලංකා ජනාධිපති කොමිසමේදී හෙළිවන දේවල් අනුවද පැහැදිලි වන්නේ එයයි.මේ ආණ්ඩුවට ජනයා බලය දුන්නේ ගජ මිතුරු අර්ජුන මහේන්ද්‍රන්ලා රජ කරවන්නට නොවේ.තමන්ට බලය දුන්නේ මහා බැංකුව කඩන්නට නොවන බව වරක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසෙනම කීවේය.එසේම එදා මහින්ද රාජපක්ෂලාට මහජනයා බලය දුන්නේ මස්සිනාලා රජ කරවන්නට ද නොවේ.මේවා රනිල් වික්‍රමසිංහලා මෙන්ම මහින්ද රාජපක්ෂලාද තේරුම් ගත යුතුව තිබේ.එහෙත් තවමත් ඔවුන් ඒ බව තේරුම් ගෙන ඇති බවක් නම් පෙනෙන්නට නැත. මේ පසුබිම තුළ තවමත් පුවත් මවමින් ඉදිරියට ඇදෙමින් තිබෙන බැදුම්කර මගඩිය ගැනත් එසේම ශ්‍රී ලංකන් - මිහින් ලංකා ජනාධිපති කොමිසමේදී හෙළිවන දේවල් ගැනත් මේ ලිපියෙන් අවධානය යොමු කරමු.


මුලින්ම අපි බැදුම්කර මගඩිය ගැන අවධානය යොමු කරමු. 2015 පෙබරවාරි සිට 2016 ජූනි දක්වා සිදු කරන ලද මේ බැදුම්කර මගඩි හරහා රටට සිදු වූ පාඩුව අති විශාල එකක් බව දැනටමත් මහජනයා දනී .එමගින් සිදු ඇතැම් පාඩු ගණනය කළ හැකිය. එහෙත් එමගින් සිදු වූ ඇතැම් හානි මුදලින් මැනිය නොහැකිය. පර්පෙචුවල් ට්‍රේෂරීස් සමාගම මේ මගඩි වලින් උපයා ගත් අයුතු ලාභය මේ මගඩිය නිසා රජයට සිදු වූ පාඩුව හෝ සමස්ත ආර්ථිකයට සිදු වූ පාඩුව නොවේ. මීට අමතරව පොලී අනුපාත ඉහළ යාම නිසා මේ මගඩියෙන් මහජනතාවටද විශාල පාඩු විදින්නට සිදු බවද කිව යුතුය.ඔවුන්ගේ ණය වෙනුවෙන් වැඩි පොලී වියදමක් දැරීමට ඔවුන්ට සිදු වූ නමුත් මේ පාඩු ගණනය කිරීමේදී මේවා ගණන් ගන්නේ නැත. එහෙත් ඒ පාඩු ජනතාවට සිදුව ඇත.එසේම තවමත් සිදු වෙමින් තිබේ. මේ නිසා බැදුම්කර මගඩිය නිසා සිදු වූ පාඩුව කිසිසේත්ම පර්පෙචුවල් ට්‍රේෂරීස් සමාගම මේ මගඩිවලින් උපයා ගත් අයුතු ලාභයට සීමා කරන්නට පුළුවන්කමක් නැත.එසේ කළ හැක්කේ හොරු රකින,තවදුරත් තම ගජ මිතුරන් රකින ජන බලය නොතකන දේශපාලකයන්ට පමණක් නොවේද ? ආණ්ඩුව රකිනවටත් වඩා අර්ජුන මහේන්ද්‍රන් රැක්කේ මේ අය ජන බලය නොතකන නිසා නොවේද ? මේ අය බැදුම්කර මගඩිය නිසා සිදු පාඩුව පර්පෙචුවල් ට්‍රේෂරීස් සමාගම මේ මගඩිවලින් උපයා ගත් අයුතු ලාභයට යැයි කියමින් මහජනයා නොමග යැවීමට උත්සාහ කරන්නේ ඒ නිසා නොවේද ?. එම පාඩුව පර්පෙචුවල් ට්‍රේෂරීස් සමාගමේ මහ බැංකුව රදවාගෙන ඇති ගිණුම්වල ඇති මුදල්වලින් පියවා ගත හැකි බව කියන්නේ මේ නිසාය. ගජ මිතුරන් තවදුරටත් රකින්නටය.මහජනයා කිසිසේත්ම මේ බොරුවලට මුලා කළ හැකි නොවේ.

එසේම බැදුම්කර මගඩිය නිසා රජයට සිදු වූ පාඩුවද එම ප්‍රශ්නගත භාණ්ඩාගාර බැදුම්කර නිකුතුවලට පමණක් සීමා වන්නක් ද නොවේ.මේ මගඩිය නිසා රටේ සමස්ත පොළී අනුපාත ව්‍යුහයටම බලපෑම් ඇති වී එය ඊට පසු සිදු කළ බැදුම්කර නිකුත් කිරීම්වලට ද බලපෑවේය. ඒ හරහා රජයේ ණය පොළී පිරිවැය දිගින් දිගටම ඉහළ ගියේය.මේවාද ගණනය කළ විට මේ මගඩිය නිසා රජයට සිදු වූ පාඩුව අති විශාල එකකි.මේ අකාරෙයෙන් සිදු වූ පාඩුද ඇතැම් අය ගණනය කර බැදුම්කර ජනාධිපති කොමිසමට ඉදිරිපත් කළේය.හිටපු මහ බැංකු නියෝජ්‍ය අධිපතිවරයෙකු වූ ඩබ්.ඒ.විජේවර්ධන මහතා මෙන්ම හිටපු මහ බැංකු සහකාර අධිපතිවරයෙකු වූ සේපාල රත්නායක මහතාද මේ පාඩු විවිධ ආකාරයෙන් ගණනය කර කොමිසමට ප්‍රකාශ කළේය.විවිධ උපකල්පන මත එම ගණනය කිරීම් සිදු කළත් එම පාඩු සත්‍යවශයෙන්ම සිදු වූ ඒවාය.එම ගණනය කිරීම්වල යම් යම් වෙනස්කම් තිබිය හැකි නමුත් එම පාඩු රජයට සිදු වූ බව පැහැදිලිය. මේ මගඩිය නිසා අර්ථසාධක අරමුදලට සිදු වූ පාඩුව ද දැන්මේ මහ බැංකුව ගණනය කර තිබේ. ආකාරයෙන් රජයට සිදු වූ පාඩුවට වඩා වැඩි අති විශාල පාඩුවක් සමස්ත ආර්ථිකයටත් එසේම පොදු මහජනතාවටත් සිදු විය.මේ ජනතාවට සිදුකළ පාඩු නැවත පියවිය හැකි ඒවා නොවේ.මීට අමතරව මහ බැංකුවේ කීර්තිනාමය බල්ලටම ගියේය.එසේම සමස්ත රටේ කීර්තිනාමය ද පලුදු වුයේය. ඒ නිසා බැදුම්කර මගඩිය යනු ඉතා කෙටි කලක් තුළ ඉතිහාසයේ සිදුවූ විශාලතම මහජන මුදල් මන්කොල්ලයයි.ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ පාඩු සිදු වී ඇත්තේ වර්ෂ ගණනාවක් තිස්සේය.

මේ හරහා රටට සිදු වූ පාඩුව පාඩුව මීට වගකිවයුත්තන්ට හෝ ඔවුන් දිගින් දිගටම ඔවුන් ආරක්ෂා කළ දූෂිත දේශපාඥයන්ට පවා මුළුමනින්ම පියවා අවසන් කළ නොහැකිය. එහෙත් මේ යහපාලන ආණ්ඩුව ආවේ පසුගිය ආණ්ඩුවේ මහා පරිමාණ වංචා ගැන කියා රටේ යහපාලනයක් ඇති කරන්නටය.එහෙත් මේ ආණ්ඩුව පත් වී මාස දෙකක් යන්නටත් පෙර රටේ අගමැතිවරයා යටතේම තිබෙන මහ බැංකුවේම මේ මහ මගඩිය සිදු විය.මහ බැංකුව කඩන්නට අගමැතිගේ ගජ මිතුරු මහ බැංකුවේම අධිපති උදව් කර ඇති බවට උසාවිය හමුවෙම චෝදනා එල්ල වී තිබේ.එනම් මහ බැංකු බැඳුම්කර වෙන්දේසිවලදී අයුතු ලෙස මුල්‍ය ලාභයක් ලබා ගැනීම සඳහා පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමට මහ බැංකුව සතු රහස්‍ය තොරතුරු ලබාදීම ඇතුළු චෝදනා යටතේ පවරා ඇති නඩුවේ පළමුවැනි සැකකරු මේ කියන හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ය. ලක්ෂ්මන් අර්ජුන මහේන්ද්‍රන් ශ්‍රී ලංකා මහ බැංකුවේ දහතුන්වන අධිපතිවරයා වූ අතර ඔහු විසින් 2015 ජනවාරි මස සිට 2016 ජූනි මස දක්වා එම තනතුර හොබවන ලදී. අගමැති රනිල් වික්‍රමසිංහ උත්සාහ කළේ ඔහු නැවතත් දෙවන ධුර කාලයක් සදහා මහ බැංකු අධිපති තනතුරට පත් කර ගැනීමටය.ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට පින් සිදු වන්නට එය ඉටු වුයේ නැත.යම් හෙයකින් ඔහු දෙවන වරටත් මහ බැංකු අධිපති කිරීමේ උත්සාහය සාර්ථක වුයේ නම් මහ බැංකුවට දෙවියන්ගේම පිහිටය.

ජනාධිපති බැදුම්කර කොමිසමේ ශාක්ෂි මගින මේ අර්ජුන මහේන්ද්‍රන් කළ කී බොහෝ දේ එළියට ආවේය. ඒ අවස්ථාවේ ඉදිරිපත් වූ ශාක්ෂි අනුව ඔහුට අඩු තරමේ විදෙස් ගමන් තහනමක් වත් ගැනීමට නීතිමය අංශ පියවර ගත්තේ නැත.එසේ කළේ නම් ඔහු අල්ලා ගැනීමට අද මෙතරම් දගලීමට අවශ්‍ය නැත. එසේ නොකිරීමේ විපාක වශයෙන් ඔහු බැදුම්කර කොමිසමෙන් පසු වහාම රටින් පිටව ගියේය.එනම් ලක්ෂ්මන් අර්ජුන මහේන්ද්‍රන් 2017 ඔක්තෝම්බර් 13 වැනිදා ඔහුගේ ගුවන් ගමන් බලපත්‍රයෙන් එස්.කිව් 469 දරන ගුවන් යානයෙන් මෙරටින් පිටව ගිය බව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේදී හෙළිදරව් විය.සිංගප්පූරු පුරවැසියෙකු වූ ඔහු මේ තනතුරට පත් කළ ,ඔහුව දිගින් දිගටම අරක්ෂා කළ අය නම්තවමත් යහපාලනය ගැන දෙසුම් පවත්වමින් යෙහෙන් වැජබෙමින් සිටිති.එහෙත් මේ රජයට ලොකුම කැළල සිදු කළ මේ මගඩිය විසින් වත්මන් ආණ්ඩුවේ පැවැත්ම ද තීරණාත්මක ලෙස අනතුරට හෙළා ඇති බව පෙනේ. මෙහි දේශපාලන විපාක ඉදිරියටත් ලැබෙන්නට නියමිතය.ඊයේ ජනබලය මගින් පෙන්නුම් කළේ එයයි. මේ මගඩියේ වගකිවයුත්තන්ට එරෙහිව නිසි ලෙස නීතිය ක්‍රියාත්මක නොවන්නේ නම් ජනතා පරමාධිපත්‍ය බලය හිමි මහජනයා ඉදිරි ජාතික මැතිවරනවලදී මේ හොරු රකින දේශපාලන නඩයට එරෙහිව තවදුරටත් දේශපාලන විපාක අත්කර දෙනු ඇත.


මෙලෙස ශ්‍රී ලංකා ඉතිහාසයේ සිදු කරන ලද දැවැන්තම මගඩිය දිගින් දිගටම අනාවරණය වෙමින් ජනතා විරෝධයද ඒ කෙරෙහි ඇතිව තිබියදී දූෂිත දේශපාඥයන් සහ නිලධාරීන් හිතා මතාම එම වංචාව වසන් කරන්නට කටයුතු කළේය.මාධ්‍යට සහ පසුව පත් කළ බැදුම්කර ජනාධිපති කොමිසමට පින් සිදු වන්නට බොහෝ තොරතුරු එළියට ආවේය.එහෙත් මේ මගඩියට අදාළ සම්පුර්ණ සත්‍ය තවමත් හෙළිදරව් වී නැත. ඒ නිසා අනාගත රජයක් යටතේදී හෝ මේ ගැන තවදුරටත් විමර්ශන සිදු විය යුතුය.ඒ අනුව මෙහි තවදුරටත් සග වී ඇති සත්‍ය හෙළිදරව් කරගෙන වගකිවයුත්තන්ට දඩුවම් දිය යුතුව තිබේ.ඊට අමතරව මේ පාඩුව මේ වගකිවයුත්තන්ගේ පුද්ගලික දේපොළ වලින් හෝ හැකිතාක් දුරට අය කර ගැනීමද අවශ්‍ය වෙයි.මේ සදහා අනාගතයේ පත් වන කවර රජයක් හෝ සිහියට ගත යුතුය.මේ නිසා අනාගත රජයේ ඇත්තන් මේ ගැන හොදට හිතට ගෙන බැදුම්කර මගඩියට වගකිව යුත්තන්ට එරෙහිව පියවර ගැනීමේ ජනතා අපේක්ෂා ඉටු කළ යුතු අතරම ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ මගඩි වැඩ ගැන ද අවධානය යොමුකර එම වැරදි නැවත සිදු නොවන්නට ද පියවර ගත යුතු වෙයි.ඒ නිසා ජන බලය කොළඹට ගෙන්වා පෙන්නුවත් ඒ ජනතාවගේ අපේක්ෂා භංග නොකළ යුතුය.එනම් බහුතර ජන බලයෙන් ආණ්ඩු බලය ගෙන මහජන අපේක්ෂා යටපත් නොකළ යුතුය.


ශ්‍යාම් නුවන් ගනේවත්ත
shyam.divaina@gmail.com

Views
41
2018-09-05 14:23:28
ජනප්‍රිය පුවත්