'ජනබලය කොළඹට’ ආණ්ඩු විරෝධී රැලියට එන්නැයි ගෝඨා ඉල්ලයි


‘ජනබලය කොළඹට’ ආණ්ඩු විරෝධී රැලියට සැප්තැම්බර් 5 වෙනිදා එක්වන ලෙස වෘත්තිකයන් සහ බුද්ධිමතුන්ගෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලා සිටියි.

හිටපු ආරක්ෂක ලේකම්වරයා මේ බව සඳහන් කළේ ඊයේ (31) මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිණි.

ජාති , ආගම් , පක්ෂ ,භේදයකින් තොරව විශාල වෘත්තීකයන් සහ බුද්ධිමතුන් පිරිසක් තමන් සමඟ එක්ව සිටින බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

කෙසේවෙතත් තමන් ඇතුළු එම පිරිස ප්‍රධාන ධාරාවේ දේශපාලන කටයුතුවලට එක්වීමෙන් වැළකී සිටීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කළ බව රහසක් නොවන බවද එම නිවේදනයේ සඳහන් වෙයි.

මෙම සංකල්පයෙන් ඔබ්බට ගොස් වර්තමානයේ රටේ සිදුවෙමින් පවතින නැවත කිසිසේත් නිවැරදි කළ නොහැකි සහ දරාගත නොහැකි විනශය අභිමුඛව සියලු දෙනාම පෙරට පැමිණිය යුතු දිනය උදාවී ඇතිබවට තමන් විශ්වාසය කරන බවද හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

විරුද්ධ දේශපාලන මතයක් දැරීමට ඇති ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය රාජ්‍ය යාන්ත්‍රණය භාවිතා කරමින් අසාධාරණ හා අත්තනෝමතික ලෙස දරුණු දේශපාලන මර්දනයකට යටත් කර තිබෙන බව සක්සුදක්සේ පැහැදිලි වෙන බව ද එම නිවේදනයේ දැක්වෙයි.

හිටපු ආරක්ෂක ලේකම්වරයා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ විශේෂයෙන්ම ජනරජයක පැවැත්ම මුළුමනින්ම බිඳවැටෙන අයුරින් මෙරටේ ප්‍රජාතන්ත්‍රවාදී මූලදර්ම සියල්ලම බිඳදැමීමට රජය කටයුතු කරමින් සිටින අතර දින නියමයකින් තොරව මැතිවරණ කල් දැමීම මඟින් ජනතා අභිලාෂයන් ඉටුකර ගැනීමට ඇති එකම අවස්ථාවද අහුරා ඇති බවයි.

ජනතා අපේක්ෂාවන්ට එරෙහිව දිගින් දිගටම කෙරෙන්නාවූ ජාතික ආර්ථික මරමස්ථාන බදු දීම මුවාවෙන් විදේශිකයන්ට විකුණන අතරම කිසිඳු විද්‍යාත්මක හෝ තාක්ෂණික විශ්ලේෂණයකින් තොරව නැවත ඉන්පිටතට පැමිණිය නොහැකි ජාත්‍යන්තර ගිවිසුම් පාර්ලිමේන්තුවට නොදන්වා අත්සන් කර තිබේ.

මේ අරාජික දේශපාලන තත්ත්වය ඉදිරියට ගෙනයාමට ඉඩදී රටේ සාමය හා සංහිදියාව විනාශවන ලෙස ව්‍යවස්ථාව වෙනස් කිරීමත් දේශපාලන පැවැත්ම තහවුරු කිරීමට රටට නිදහස ලබා දුන් රණවිරුවන් දඩයම් කිරීමත් සමස්ත ශ්‍රී ලාංකිකයන්ගේම උදහසට ලක්වී ඇති බව සියලු දෙනාම දන්නා කරුණක් බව මෙම නිවේදනයේ තවදුරටත් දැක්වෙයි.

මේ අරාජික දේශපාලන තත්ත්වය ඉදිරියට ගෙනයාමට ඉඩදී රටේ අනාගතය විනාශවන අයුරු බලාසිටීමට වෘත්තිකයන් සහ බුද්ධිමතුන් ලෙස අපට තවදුරටත් හැකියාවක් නොමැත.

හොඳ මිනිසුන් නිහඬව සිටින විට නරක ඉබේම ජයගන්නා බව කියැවෙන පැරණි කියමන සිහි කරවමින් ශ්‍රීලංකාවේ සියලුම දේශප්‍රේමී බලවේග එක්ව සංවිධානය කරන ‘ජනබලය කොළඹට’ දැවැන්ත ආණ්ඩු විරෝධී රැලියට සැප්තැම්බර් 5 වෙනිදා එක්වන ලෙස වෘත්තිකයන් සහ බුද්ධිමතුන් වන ඔබ සැමට ආරාධනාකරන බවයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.




Views
33
2018-08-31 16:01:53
ජනප්‍රිය පුවත්