චතුරගේ මගුල ගැන අගමැති කාර්යාලය කරුණු පහදයි


පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතාගේ මංගල උත්සවය පවත්වනු ලැබුවේ අග්‍රාමාත්‍ය නිල නිවස වන අරලිය ගහ මන්දිරයේ දී නොවන බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.

චතුර සේනාරත්න මන්ත්‍රීවරයාගේ මංගල උත්සවය සම්බන්ධයෙන් විවිධ මාධ්‍ය ඔස්සේ අසත්‍ය හා පදනම් විරහිත තොරතුරු සමාජගත වෙමින් පවතින බව නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය කාර්යාලය පෙන්වා දෙයි.

අරලිය ගහ මන්දිර පරිශ්‍රයේ කාර්යාල සංකීර්ණය හා උත්සව ශාලාව ඇතුළු ගොඩනැගිලි ගණනාවක් පවතින අතර සම්මත ක්‍රමවේදයන් ඔස්සේ රාජ්‍ය හා වෙනත් උත්සව අවස්ථා සඳහා උත්සව ශාලාව ලබාදීම පිළිගත් ක්‍රමවේදයක් බව එම කාර්යාලය පෙන්වා දෙයි.

සිය විවාහ මංගල්‍යය පැවැත්වීම සඳහා උත්සව ශාලාව ලබාදිය හැකිද යන්න පිළිබඳ චතුර සේනාරත්න මන්ත්‍රීවරයා විමසීමක් කර ඇති අතර ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙකු වීම හේතුවෙන් සහ මන්ත්‍රීවරයා විසින් ඒ සඳහා දක්වා තිබූ හේතු සහ සම්මත ක්‍රමවේදයන් මත ශාලාව ලබාදීමට පියවර ගත් බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.

ඇතමුන් අර්ථ දක්වන පරිදි මෙය නොමිලයේ ලබාදීමක් හෝ ජනතා මුදල් අවභාවිත කිරීමක් නොවන අතර මන්ත්‍රීවරයා වෙත එම උත්සව ශාලාව ලබාදී ඇත්තේ ද පිටස්තර උත්සව සඳහා එය ලබාදෙන අවස්ථාවන්හි අය කරන සම්මත ගෙවීම් මත බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.

එමෙන්ම මන්ත්‍රීවරයාගේ මංගල උත්සවයේ සැරසිලි ආහාරපාන හෝ අන් කිසිදු කාර්යයකට අග්‍රාමාත්‍ය කාර්යාලයේ සම්බන්ධයක් නොමැති බව ද අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය.
Views
61
2018-08-31 15:22:28
ජනප්‍රිය පුවත්