අර්ජුන මහේන්ද්‍රන් අල්ලා ගැනීම


බැදුම්කර මගඩිය තවමත් පුවත් මවමින් ඉදිරියට ඇදෙමින් තිබේ.2015 පෙබරවාරි සිට 2016 ජූනි දක්වා සිදු කරන ලද මේ බැදුම්කර මගඩි හරහා රටට සිදු වූ පාඩුව ඇති විශාලය.එමගින් සිදු ඇතැම් පාඩු ගණනය කළ හැකි වුවත් එමගින් සිදු වූ ඇතැම් හානි මුදලින් මැනිය නොහැකිය. පර්පෙචුවල් ට්‍රේෂරීස් සමාගම මේ මගඩි වලින් උපයා ගත් අයුතු ලාභය එකකි. එය මේ මගඩිය නිසා රජයට සිදු වූ පාඩුව හෝ සමස්ත ආර්ථිකයට සිදු වූ පාඩුව නොවේ. මීට අමතරව පොලී අනුපාත ඉහළ යාම නිසා මේ මගඩියෙන් මහජනතාවටද විශාල පාඩු විදින්නට සිදු විය.ඔවුන්ගේ ණය වෙනුවෙන් වැඩි පොලී වියදමක් දැරීමට ඔවුන්ට සිදු විය.මේවා ගණනය කර ඇති දේවල් නොවේ. මේ නිසා බැදුම්කර මගඩිය නිසා සිදු වූ පාඩුව කිසිසේත්ම පර්පෙචුවල් ට්‍රේෂරීස් සමාගම මේ මගඩිවලින් උපයා ගත් අයුතු ලාභය නොවේ.එහෙත් ඇතැම් අය මේ අගය බැදුම්කර මගඩිය නිසා සිදු පාඩුව යැයි කියමින් මහජනයා නොමග යැවීමට උත්සාහ කරති. එසේ කරමින් එම පාඩුව පර්පෙචුවල් ට්‍රේෂරීස් සමාගමේ මහ බැංකුව රදවාගෙන ඇති ගිණුම්වල ඇති මුදල්වලින් පියවා ගත හැකි බවටද ප්‍රකාශ කරති.මහජනයා කිසිසේත්ම මේ බොරුවලට මුලා කළ හැකි යැයි අපි කිසිසේත්ම නොසිතමු. අනිත් අතට බැදුම්කර මගඩිය නිසා රජයට සිදු වූ පාඩුවද එම ප්‍රශ්නගත භාණ්ඩාගාර බැදුම්කර නිකුතුවලට පමණක් සීමා වන්නක් ද නොවේ.මේ මගඩිය නිසා රටේ සමස්ත පොළී අනුපාත ව්‍යුහයටම බලපෑම් ඇති විය. එය ඊට පසු සිදු කළ බැදුම්කර නිකුත් කිරීම්වලට ද බලපෑවේය. ඒ හරහා රජයේ ණය පොළී පිරිවැය දිගින් දිගටම ඉහළ ගියේය.මේවාද ගණනය කළ විට මේ මගඩිය නිසා රජයට සිදු වූ පාඩුව ඇති විශාල එකකි.මේ අකාරෙයෙන් සිදු වූ පාඩුද ඇතැම් අය ගණනය කර බැදුම්කර ජනාධිපත් කොමිසමට ඉදිරිපත් කළ බව අපට මතකය.හිටපු මහ බැංකු නියෝජ්‍ය අධිපතිවරයෙකු වූ ඩබ්.ඒ.විජේවර්ධන මහතා මෙන්ම හිටපු මහ බැංකු සහකාර අධිපතිවරයෙකු වූ සේපාල රත්නායක මහතාද මේ පාඩු විවිධ ආකාරයෙන් ගණනය කර තිබුණි.එම ගණනය කිරීම්වල යම් යම් වෙනස්කම් තිබිය හැකි නමුත් එම පාඩු රජයට සිදු වූ බව පැහැදිලිය.මේ ආකාරයෙන් රජයට සිදු වූ පාඩුවට වඩා වැඩි අති විශාල පාඩුවක් සමස්ත ආර්ථිකයටත් එසේම පොදු මහජනතාවටත් සිදු විය.මේ ජනතාවට සිදුකළ පාඩු නැවත පියවිය හැකි ඒවා නොවේ.මීට අමතරව මහ බැංකුවේ කීර්තිනාමයට මෙන්ම සමස්ත රටේ කීර්තිනාමයට ද මේ නිසා
එල්ල වුයේ දැවැන්ත මරු පහරකි. තත්වය මෙසේ තිබියදී ඇතැමුන් බැදුම්කර මගඩිය හරහා රටට සිදු වූ පාඩුව මුලින් කී පර්පෙචුවල් ට්‍රේෂරීස් සමාගමේ අයුතු ලාභයට සීමා කර මෙය සුළු කොට තකන්නට හදති.


මේ පසුබිම තුළ බැදුම්කර මගඩිය යනු ලංකා ඉතිහාසයේ සිදුවූ විශාලතම මහජන මුදල් මන්කොල්ලය ලෙස හදුන්වා දිය හැකිය.මේ හරහා රටට සිදු වූ පාඩුව පාඩුව මීට වගකිවයුත්තන්ට සහ දිගින් දිගටම ඔවුන් ආරක්ෂා කළ දූෂිත දේශපාඥයන්ට පවා මුළුමනින්ම පියවා අවසන් කළ නොහැකිය.මෙසේ තිබියදී ඇතැමුන් බැදුම්කර මගඩිය නිසා සිදු වූ පාඩුවට වඩා එක්තරා බිඑම්ඩබ්ලිව් වාහන වංචාවක පාඩුව මීට වඩා වැඩි බව කියති.තවත් අය ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සිදුව ඇති බව කියන වංචා මීට වඩා වැඩි බව කියති. එහෙත් මේ යහපාලන ආණ්ඩුව ආවේ පසුගිය ආණ්ඩුවේ මහා පරිමාණ වංචා ගැන කියා රටේ යහපාලනයක් ඇති කරන්නටය.එහෙත් මේ ආණ්ඩුව පත් මාස දෙකක් යන්නටත් පෙර රටේ අගමැතිවරයා යටතේම තිබෙන මහා බැංකුවේම මේ මහා මගඩිය සිදු විය.මහ බැංකුව කඩන්නට මහ බැංකුවේම අධිපති උදව් කර ඇති බවට උසාවිය හමුවෙම චෝදනා එල්ල වී තිබේ.එනම් මහ බැංකු බැඳුම්කර වෙන්දේසිවලදී අයුතු ලෙස මුල්‍ය ලාභයක් ලබා ගැනීම සඳහා පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමට මහ බැංකුව සතු රහස්‍ය තොරතුරු ලබාදීම ඇතුළු චෝදනා යටතේ පවරා ඇති නඩුවේ පළමුවැනි සැකකරු මේ කියන හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ය. ලක්ෂ්මන් අර්ජුන මහේන්ද්‍රන් ශ්‍රී ලංකා මහ බැංකුවේ දහතුන්වන අධිපතිවරයා වූ අතර ඔහු විසින් 2015 ජනවාරි මස සිට 2016 ජූනි මස දක්වා එම තනතුර හොබවන ලදී. අගමැති රනිල් වික්‍රමසිංහ උත්සාහ කළේ ඔහු නැවතත් දෙවන ධුර කාලයක් සදහා මහා බැංකු අධිපති තනතුරට පත් කරගැනීමටය.ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට පින් සිදු වන්නට එය ඉටු වුයේ නැත.යම් හෙයකින් ඔහු දෙවන වරටත් මහා බැංකු අධිපති කිරීමේ උත්සාහය සාර්ථක වුයේ නම් මහ බැංකුවට කුමක් සිදු වනු ඇතිදැයි සිතා ගැනීමටත් අපහසුය. ඔහු නැවත පත් නොකළත් මහ බැංකුව ගැන බිද වැටී ඇති මහජන විශ්වාසය තවමත්යථා තත්වයට පත්ව නැත.

බැදුම්කර කොමිසමේ දී මේ අර්ජුන මහේන්ද්‍රන් කළ කී බොහෝ දේ එළියට ආවේය. ඒ අවස්ථාවේ ඉදිරිපත් වූ ශාක්ෂි
අනුව ඔහුට අඩු තරමේ විදෙස් ගමන් තහනමක් වත් ගැනීමට නීතිමය අංශ පියවර ගත්තේ නම් ඔහු අල්ලා ගැනීමට මෙතරම් දගලීමට අවශ්‍ය වන්නේද ? එසේ නොකිරීමේ විපාක වශයෙන් ඔහු බැදුම්කර කොමිසමෙන් පසු වහාම රටින් පිටව ගියේය.එනම් ලක්ෂ්මන් අර්ජුන මහේන්ද්‍රන් 2017 ඔක්තෝම්බර් 13 වැනිදා ඔහුගේ ගුවන් ගමන් බලපත්‍රයෙන් එස්.කිව් 469 දරන ගුවන් යානයෙන් මෙරටින් පිටව ගිය බව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේදී හෙළිදරව් විය.ඒ නිසා ඔහු අද රටේත් නැත.ඔහු දැන් සිටින්නේ සිංගප්පූරුවේය. සිංගප්පූරු පුරවැසියෙකු වූ ඔහු මේ තනතුරට පත් කළ ,ඔහුව දිගින් දිගටම අරක්ෂා කළ අය තවමත් යෙහෙන් වැජබෙමින් සිටිති.එහෙත් මේ රජයට ලොකුම කැළල සිදු කළ මේ මගඩිය විසින් වත්මන් ආණ්ඩුවේ පැවැත්ම ද තීරණාත්මක ලෙස අනතුරට හෙළා ඇති බව පෙනේ.නීතිය ක්‍රියාත්මක වීම කෙසේ වෙතත් මෙහි දේශපාලන විපාක ඉදිරියටත් ලැබෙන්නට නියමිතය. මේ මගඩියේ වගකිවයුත්තන්ට එරෙහිව නිසි ලෙස නීතිය ක්‍රියාත්මක නොවන්නේ නම් ජනතා පරමාධිපත්‍ය බලය හිමි මහජනයාට ඒ ගැන ගත හැකි තවත් ඉදිරි පියවර තිබේ.පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ද මහජනයා යම් තාක් දුරකට මේ ගැන පියවර ගත් බව අපේ හැගීමයි.ඉදිරි ජාතික මැතිවරනවලදී මේ හොරු රකින දේශපාලන නඩයට එරෙහිව ජනතාවට අවශ්‍ය නම් තවදුරටත් දේශපාලන විපාක අත්කර දිය හැකිය.


මේ අර්ජුන මහේන්ද්‍රන් සිංගප්පූරුවෙන් ශ‍්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා (පිටුවහල් කර ගැනීම සඳහා) උදර්පන නීතිය යටතේ සියලූ පියවර ගෙන ඇතැයි නීතිපතිවරයා ඉකුත් අගෝස්තු 30 දා කොටුව මහෙස්ත‍්‍රාත් අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනවියට දැනුම් දුන්නේය.අර්ජුන ඇලෝසියස්‌ මහතා ඇතුළු තිදෙනකුට හා පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමට එරෙහිව අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව විසින් ගොනු කර තිබූ නඩුව එදින කැඳවූ අවස්‌ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් උසාවියේ පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්මිය ඒ බව අධිකරණයට දැනුම් දුන්නාය.අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට කරන ලද දැනුම්දීම නොතකා කටයුතු කිරීම නිසා පසුගිය අප්‍රේල් 19 වැනිදා ජාත්‍යන්තර පොලිසිය හරහා රතු නිවේදන නිකුත් කළ සැකකරු මේ වනවිට සිංගප්පූරුවේ සිටින බවත් ඔහු ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට රටවල් 192 ක බලාත්මක කර ඇති උධර්පන නීතිය අනුව කටයුතු කර ඇතැයි ද එහිදී ඇය අධිකරණයට පෙන්වා දී තිබිණි.එම සැකකරු අධිකරණය හමුවට ගෙන්වා ගැනීමට ගෙන ඇති පියවර පිළිබඳව කරුණු දක්‌වන ලෙසට මීට පෙර නඩු දිනයේදී එනම් අගෝස්තු 23 වැනිදා අධිකරණය විසින් කරන ලද නියෝගය අනුව නීතිපති දෙපාර්තමේන්තුව එම කරුණු අධිකරණයට දැනුම් දුන් බවද මාධ්‍ය වාර්තා කර තිබුණි. බැදුම්කර වංචාව සම්බන්ධයෙන් පවරා ඇති නඩුවේ පළමුවන සැකකාර හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා අත්අඩංගුවට ගැනීමට නිකුත් කළ වරෙන්තු නියෝග ක‍්‍රියාත්මක කිරීමට ගෙන ඇති පියවර හා ඔහු ශ‍්‍රී ලංකාවට පිටුවහල් කරගැනීමට ගෙන ඇති පියවර සම්බන්ධයෙන් 30 වැනිදා අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොටුව මහෙස්ත‍්‍රාත් අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනවිය ඉකුත් 23 වැනිදා නීතිපතිවරයාට නියෝග කර තිබිණි.


මේ අතර එම සැකකරු ඔහුට එරෙහිව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට ගොනු කර ඇති බැඳුම්කර වංචාවට අදාළ චෝදනා හා ඒවා සනාථ කිරීමට ඉදිරිපත් කොට ඇති ලේඛනවල පිටපත් හා වරෙන්තු පිටපත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා ඇති බව ඉකුත් 23 වැනිදා ද නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්මිය අධිකරණයට දැනුම් දී තිබිණි.සැකකරු එම ඉල්ලීම කොට ඇත්තේ පොලිසිය හරහා බැවින් ඔහු ඉල්ලා සිටින ලේඛනවල පිටපත් ඔහුට යෑවීම පිළිබඳව නීතිමය තත්ත්වය අධ්‍යයනය කරමින් පවතින බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය එදින අධිකරණයට දැනුම් දී තිබුණි. සැකකාර හිටපු මහ බැංකු අධිපතිවරයා විසින් ජාත්‍යන්තර පොලිසිය හරහා ඉල්ලා තිබූ සියලු ලේඛන ඔහු වෙත යෑවීමට අවශ්‍ය නෛතික උපදෙස්‌ අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුවට ලබාදුන් බව ද ඊට පසු නඩු දිනයේ එනම් ඉකුත් අගෝස්තු 30 දින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය අධිකරණයට දැනුම් දුන්නාය. එම නඩුවේ දෙවන හා සිවුවන සැකකරුවන් වන අර්ජුන් ඇලෝසියස්‌ හා කසුන් පලිසේන යන දෙදෙනා ලබන 13 වැනිදා දක්‌වා තවදුරටත් රක්‌ෂිත බන්ධනාගාරගත කිරීමට ද මහෙස්‌ත්‍රාත්වරිය එදින නියෝග කළාය.


ඉකුත් අගෝස්තු 23 දින මේ සැකකරු( අර්ජුන මහේන්ද්‍රන් ) මේ වන විට රැඳී සිටිනුයේ කුමන රටක දැයි මහෙස්‌ත්‍රාත්වරිය විමසා තිබුණි. එයට පිළිතුරු දෙමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය කියා තිබුණේ ඔහු මේ වන විට සිංගප්පූරුවේ රහසිගතව රැඳී සිටින බව නිරීක්‍ෂණය කොට ඇති බවයි. එම සැකකරු අත්අඩංගුවට ගැනීමට අධිකරණය විසින් නිකුත් කර ඇති වරෙන්තු නියෝග ක්‍රියාත්මක කිරීමට අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව ජාත්‍යන්තර පොලිසිය හරහා අවශ්‍ය පියවර ගෙන ඇති බව ද ඉකුත් 30 දින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය අධිකරණයට පෙන්වා දුන්නාය. සැකකරු ඉල්ලා ඇති ඔහුට එරෙහිව ගොනු වී ඇති චෝදනා ඒවා සනාථ කිරීමට අධිකරණයට ඉදිරිපත් කර ඇති පැමිණිල්ලේ සාක්‌ෂි වරෙන්තු පිටපත් ඇතුළු ලේඛන සැකකරු වෙත මුදාහැරීමේ නීතිමය බාධාවක්‌ නොමැති බව ඉකුත් 29දා ජාත්‍යන්තර පොලිසිය වෙත දන්වා යෑවීමට අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇතැයි ද ඇය පෙන්වා දී ඇත. මෙදින රජයේ අධිනීතිඥ සහන්‍යා නාරංජනාත් මෙනවිය, රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ලක්‌මිණි ගිරිහාගම මෙනවිය, රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ උදාර කරුණාතිලක මහතා ඇතුළු නීතිඥ මණ්‌ඩලයක්‌ සමඟ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්මිය පැමිණිල්ල නියෝජනය කළා අතර නීතිඥ සජිත් ජයවර්ධන, නීතිඥ ජීවන්ත ජයතිලක ඇතුළු නීතිඥ මණ්‌ඩලයක්‌ විත්තිය නියෝජනය කර තිබේ.


ශ්‍රී ලංකා ඉතිහාසයේ සිදු කරන ලද දැවැන්තම මගඩිය දිගින් දිගටම අනාවරණය වෙද්දී ජනතා විරෝධයද ඒ කෙරෙහි ඇති විය. දූෂිත දේශපාඥයන් සහ නිලධාරීන් හිතා මතාම එම වංචාව වසන් කරන්නට ද විය.මාධ්‍යට පින් සිදු වන්නට බොහෝ තොරතුරු එළියට ආවේය.පසුව පත් කළ බැදුම්කර ජනාධිපති කොමිසම් නිසාද තවත් තොරතුරු හෙළිදරව් විය.එහෙත් මේ මගඩියට අදාළ සම්පුර්ණ සත්‍ය තවමත් හෙළිදරව් වී නැත. ඒ නිසා අනාගත රජයක් යටතේදී හෝ මේ ගැන තවදුරටත් විමර්ශන සිදු විය යුතු බව අපේ අදහසයි.ඒ අනුව මෙහි තවදුරටත් සග වී ඇති සත්‍ය හෙළිදරව් කරගෙන වගකිවයුත්තන්ට දඩුවම් දිය යුතුව තිබේ.ඊට අමතරව මේ පාඩුව මේ වගකිවයුත්තන්ගේ පුද්ගලික දේපොළ වලින් හෝ හැකිතාක් දුරට අය කර ගැනීමද අවශ්‍ය වෙයි.මේ සදහා අනාගතයේ පත් වන කවර රජයක් හෝ සිහියට ගැනීම වදගතය.මේ මගඩියේ දේශපාලන මොළකරුවන් තවමත්යහපාලනය ගැන දෙසුම් පවත්වමින් සිටිති.එහෙත් මේ රජය තරම් යහපාලනය යන වචනය අවභාවිත කළ වෙනත් රජයක් නොමැත.මේ ආණ්ඩුව හදුන්වන්නෙම ' යහපාලන රජය' කියාය. එහෙත් සිදුව ඇති දේවල් අනුව එය අර්ථ විරහිත හැදින්වීමක් පමණි.මේ නිසා අනාගත රජයේ ඇත්තන් මේ ගැන හොදට හිතට ගෙන බැදුම්කර මගඩියට වගකිව යුත්තන්ට එරෙහිව පියවර ගැනීමේ ජනතා අපේක්ෂා ඉටු කළ යුතුය.

නව රජයක් හරහා බැදුම්කර මගඩියට එරෙහිව යුක්තිය ඉටු කර හත යුතුයි
- හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්

2015 පෙබරවාරි සිට 2016 ජූනි දක්වා සිදු කරන ලද යහපාලන බැදුම්කර මගඩි හරහා රටටද, ආර්ථිකයටද, ශ්‍රී ලංකා ජනතාවටද දැවැන්ත පාඩු සිදුවූ අතර, රටේ කීර්තිනාමයට මරු පහරක්ද එල්ල වුනි.තමන්ගේ ඇස් පනා පිට ශ්‍රී ලංකා ඉතිහාසයේ සිදු කරන ලද දැවැන්තම මගඩිය අනාවරණය වෙද්දී, ජනතාව අසරණව බලා සිටියහ. දූෂිත දේශපාලඥයන් සහ නිලධාරීන් හිතා මතාම එම වංචාව වසන් කරද්දී, ජනතාව දුක්මුසුව සුසුම් හෙලූහ. මගඩියේ මොළකරු යහපාලනය පිළිබදව දෙසුම් දෙද්දි, ජනතාව කම්පාවෙන් පෙලුනහ. මගඩියේ එක් මූලික චූදිතයෙකු වූ හිටපු මහ බැංකු අධිපති මහේන්ද්‍ර‍න් අත් අඩංගුවට ගැනීමෙන් වැලකීමට කිසිදු අවහිරයකින් තොරව විදේශගත වෙද්දී, ජනතාව කුපිත වූහ. මහේන්ද්‍ර‍න් මහ බැංකු අධිපතිවරයා වශයෙන් පත් කරන අවස්ථාවේදී ඔහුගේ ක්‍රියාවන් වෙනුවෙන් සම්පූර්ණ වගකීම තමා භාර ගන්නේ යයි පැවසූ අගමැතිවරයා මහේන්ද්‍ර‍න් දැන් සිටින්නේ කොතනද තමා නොදන්නේ යයි පවසද්දි, ජනතාව තිගැස්සුනහ.


මේ අනුව, වර්තමාන පාලකයින් මෙම බැදුම්කර වංචාවට සෘජුවම සම්බන්ධ වී ඇති නිසා, ඔවුන් මේ රට පාලනය කරන තාක්කල් මෙම මගඩියේ යෙදුනු වැරදිකරුවන් නීතියේ රැහැනට ගෙන ඒමටද, සොරාගත් මුදල් නැවත අය කර ගැනීමටද, මෙම රජයට කිසිදු උනන්දුවක් නැති බව ජනතාව දැනටමත් තීරණය කොට අවසානය. එහෙයින් මෙම මගඩියට අදාළව යුක්තිය ඉෂ්ට කර ගැනීමට නම් ජනතාවට ඇති එකම බලාපොරොත්තුව නව රජයක් හරහා එසේ කර ගැනිම බව දැන් පැහැදිළිය. එසේ වුවහොත් පමණක්, රටට ආර්ථිකයට සහ ජනතාවට විදින්නට සිදු වූ පාඩුව සහ හානිය නැවත අයකර ගත හැකිය. “යහපාලනය” වෙනුවෙන් පෙනී සිටිමින්, අගනා යුරෝපිය ඇදුමින් සැරසි, රටේ ඉතිහාසයේ දැවැන්තම වංචාව කල මොලකරුවන්ට දඩුවම් දිය හැකිය. මුදලට සහ වෙනත් හේතුන් වෙනුවෙන්, මෙම මගඩිය යට ගැසීමට සහයෝගය සහ ශක්තිය දුන් පුද්ගලයින් හෙළිදරව් කරගත හැකිය. මෙම මගඩිය දියත්කර ගන්නට අනුබල දුන් අය අනාවරණය කර ගත හැකිය. එසේ කිරීමට නම්, එකම සැලැස්මක් සහ අරමුණක් ඔස්සේ රජයේ සියලුම අදාළ අංශ කටයුතු කරමින්, තොරතුරු අනාවරණය කර ගනිමින්, සත්‍ය තහවුරු කර ගනිමින්, සොයා ගන්නා ලද තොරතුරු විශ්ලේෂනය කර ගනිමින්, හැකි සියලුම නීතිමය ප්‍ර‍තිපාදන උපයෝගි කර ගනිමින්, සියලුම වැරැදිකරුවන් නීතියේ රැහැනට භාජනය කිරීමට, කටයුතු කළ යුතුය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
Views
104
2018-08-31 14:24:55