ඉන්දියානු නිවාස ව්‍යාපෘතිය මොණරාගල කුමාරවත්ත වතුයාය දක්වා ව්‍යාප්ත කෙරේ

ශ්‍යාම් නුවන් ගනේවත්ත

මොණරාගල දිස්ත්‍රික්කයේ කුමාරවත්ත වතුයායේ ඉකුත් දා (30) ලද විශේෂ උත්සවයකදී ඉන්දියානු නිවාස ව්‍යාපෘතිය යටතේ නව නිවාස 150 ක් ඉදිකිරීම සඳහා ඉන්දීය මහ කොමසාරිස් තරංජිත් සිං සන්ධු මහතා , රාජ්‍ය පරිපාලන, කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා , උඩරට නව ගම්මාන, යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන අමාත්‍ය ගරු පලනි දිගම්බරම් මහතා හා අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ගරු වී. එස්. රාධක්‍රිෂ්ණන් මහතා විසින් මුල්ගල තබන ලදී.
පාර්ලිමේන්තු මන්ත්‍රීන්, ඌව පළාත් සභාවේ සාමාජිකයින්, රජයේ නිලධාරීන් මෙන්ම වැවිලි මානව සංවර්ධන භාරයේ (PHDT) නිලධාරින් හා වැවිලි සහ වතු කළමනාකරණ නිලධාරීන්ද මෙම අවස්ථාවට සහභාගි විය. එසේම කුමාරවත්ත වතුයායේ වෙසෙන විශාල පිරිසක්ද මෙම උත්සවයට සහභාගි විය.

ඉන්දියානු අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විසින් පසුගිය වසරේදී පොරොන්දු වූ නිවාස 10,000 ක් ඇතුළුව වතුකරයේ නිවාස 14,000 ක් ඉදි කිරීම සඳහා ඉන්දීය රජය කටයුතු කරමින් සිටී. වතුකරයේ ක්‍රියාත්මක ඉන්දියානු නිවාස ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ ඉදි කළ නිවාස 400 කට වැඩි ගණනක් ජනතා අයිතියට පත් කිරීම සඳහා 2018 අගෝස්තු මස 12 වන දින පැවති උත්සවයේදී නිවාස10,000 ක් ඉදි කිරීම සඳහා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ගිවිසුම් අත්සන් තැබිණ.
මෙම මුල්ගල තැබීමේ උත්සවය නුවරඑළිය, හැටන් සහ බදුල්ල ප්‍රදේශයන්ගෙන් පිටතට ඉන්දියානු නිවාස ව්‍යාපෘතිය ව්‍යාප්ත කිරීම සනිටුහන් කරයි. ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය / ශ්‍රී ලංකා රතු කුරුස සංවිධානය මෙම නිවාස ඉදිකිරීමේ නියෝජිතායතන වේ.

ජනතා කේන්ද්‍රීය සංවර්ධන ව්‍යාපෘති සඳහා ඉන්දියාව ශ‍්‍රී  ලංකාවට ඇමරිකානු ඩොලර් බිලියන 3 ක පමණ ආධාර ලබා දී ඇති අතර එයින් ඇමෙරිකානු ඩොලර් මිලියන 550 ක්ම නැවත නොගෙවිය යුතු ප්‍රදානයන් වේ.
මෙම උත්සවයෙන් අනතුරුව මහ කොමසාරිස්තුමා රාජ්‍ය පරිපාලන, කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා සමඟ මොණරාගල පැවැත්වෙන එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ජාතික ප්‍රදර්ශනය නැරඹීමටද එක්විය.

Views
100
2018-08-30 15:13:21