ව්‍යවසායකත්වය බලගැන්වීමට එන්ටර්ප්‍රයිස් - ශ්‍රී ලංකා
ව්‍යවසායකත්වය බලගැන්වීමට
එන්ටර්ප්‍රයිස් - ශ්‍රී ලංකා

එන්ටර්ප්‍රයිස් - ශ්‍රී ලංකා ජාතික ප්‍රදර්ශනය ඊයේ (29) මොණරාගලදී ආරම්භ විය .මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සංවිධානය කරනු ලබන මෙම ජාතික ප්‍රදර්ශනය අගෝස්තු 31 දින දක්වා සෑම දිනකම උදේ 10.00 සිට රාත්‍රී 12.00 දක්වා පැවැත්වේ .ව්‍යවසායක පාරාදීසයක් බිහිකිරීමට මඟ කියාදෙන ‘එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය ඊයේ (29) උදේ 10.00 ට මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා ප්‍රමුඛ මැති ඇමැතිවරු රැසකගේ ප්‍රධානත්වයෙන් මහජනතාව සඳහා විවෘත වූ අතර එහි නිල සමාරම්භක උළෙල අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සවස 4.00 ට පැවැත්විණි .මෙම අවස්ථාවන්ට මොණරාගල දිස්ත්‍රික් මැති ඇමැතිවරු ප්‍රධාන රජයේ ඉහළ නිලධාරීන් රැසක්සහභාගි වී සිටියහ . අපේ රටේ සිටින ව්‍යවසායකයන්ට ඇත දෙමින් එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ඊළඟ වසර තුළ ව්‍යවසායකයින් ලක්ෂයක් අලුතින් බිහිකර ගැනීමට අපේක්ෂා කරන බව මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා පවසයි. ඒ නිසා “එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා” සහන පොලී ණය ව්‍යාපෘතියේ ප්‍රධානම අපේක්ෂාව වන්නේ ව්‍යවසායකතත්වයට අතහිත දීමයි .අලුතින් ව්‍යවසායකයන් බිහි කර ගැනීම මෙන්ම දැනට සිටින ව්‍යවසායක පිරිස් තවතවත් දිරිමත් කිරීම ද මෙහි තවත් අරමුණකි. ඇත්ත වශයෙන්ම රටේ ව්‍යවසායකත්වය බලගැන්වීමට රජයේ අතහිත ලබා දීම ඉතාමත් හොද දෙයකි .එය අත්‍යවශ්‍ය දෙයකි. පසුබිම තුළ එන්ටර්ප්‍රයිස් - ශ්‍රී ලංකා ජාතික ප්‍රදර්ශනය සහ එම වැඩපිළිවෙළ ගැන මේ ලිපියෙන් අපගේ අවධානය යොමු වේ .

මොණරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය අසල අක්කර 22ක භූමියක ප්‍රදර්ශන කලාප 12කින් යුතුව මේ එන්ටර්ප්‍රයිස් - ශ්‍රී ලංකා ප්‍රදර්ශනය පැවැත්වෙන අතර ඊට රාජ්‍ය හා පෞද්ගලික අංශ ප්‍රදර්ශන කුටි 515කට අධික ප්‍රමාණයක් එක්කොට ඇත. . නව ව්‍යවසායකයකු, නව නිපැයුම්කරුවකු රටට, ලොවට හඳුන්වාදීම, ඔවුන්ට ඒ සඳහා අවශ්‍ය සියලු උපකාරක සේවා සැපැයීම මේ ප්‍රදර්ශනයෙන් සිදුවේ. ඊට අමතරව ප්‍රධාන අංශ 12ක් යටතේ මොණරාගල දිස්ත්‍රික්කයේ සෑම ගම්නියම්ගමකම යටිතල පහසුකම් දියුණු කිරීමේ ගම්පෙරළිය කඩිනම් සංවර්ධන වැඩපිළිවෙළද මීට සමගාමීව ක්‍රියාත්මක වේ.ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ගේ නායකත්වයෙන් යුතු යහපාලන ජාතික රජයේ තෙවසරක පාලන සමයේ රටේ සිදුවූ සංවර්ධනය, සිදුවෙමින් පවතින දියුණුව හා වසර 2025 වනවිට රට රැගෙන යෑමට නියමිත සංවර්ධනයේ ගමන්මඟ පිළිබඳව රටේ සමස්ත ජනතාවට මේ ප්‍රදර්ශනයෙන් කරුණු කාරණා දැකබලාගත හැකි බව රජය කියයි .අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ වසර 2025 දැක්ම (V2025) ට අනුව පොහොසත් රටක් බිහි කිරීම සඳහා අවශ්‍ය දැනුම පදනම් කරගත් සමාජ වෙළෙඳපොළ ආර්ථික කේන්ද්‍රස්ථානයක් බවට ශ්‍රී ලංකාව පරිවර්තනය කරමින් සිටින බව එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනයේ සංකල්පය ඉදිරිපත් කළ මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා ප්‍රකාශ කරයි. ප්‍රජාතන්ත්‍රවාදය, සංහිඳියාව යන ප්‍රධාන කරුණු දෙක මත සංවර්ධිත රටක් සෞභාග්‍යමත් ජනතාවක් බිහි කිරීම සිදු කරන ආකාරය මේ ප්‍රදර්ශනයෙන් විදහා දැක්වෙන බව ද මංගල සමරවීර ඇමතිවරයා පෙන්වා දෙයි.ප්‍රදර්ශනයේ දෙවැනි දිනය වන අද දින
(30) ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා, රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ හා මහනුවර සංවර්ධන ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල යන මහත්වරු එක්වෙති.ප්‍රදර්ශනයේ තෙවැනි දිනය වන හෙට දින නිවාස හා ඉදිකිරීම් ඇමැති සජිත් ප්‍රේමදාස මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වීමට නියමිතය.


මෙම ප්‍රදර්ශන මාලාවේ ප්‍රධාන අරමුණ එන්ටර්ප්‍රයිස් - ශ්‍රී ලංකා වැඩපිළිවෙළ ගැන මහජනයා දැනුවත් කරමින්
ව්‍යවසායකයන් දිරි ගැන්වීමයි. නගරයේ මෙන්ම ගම් වල සිටින ව්‍යවසායකයින් නගා සිටුවීම සඳහා අවශ්‍ය උපදෙස් මෙන්ම ඔවුන්ට අවශ්‍ය මූල්‍යමය දායකත්වය ලබාදීමද මෙහිදී සිදු වේ.මෙය අලුත් ව්‍යවසායකයන් දිරිමත් කෙරෙන, ව්‍යාපාරිකයන් ගොඩ නගන වැඩසටහනක් බව මුදල් අමාත්‍යංශයේ රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා පවසා තිබුණි.ඇතැම් තරුණ තරුණියන්ට ව්‍යවසායක හැකියාව තිබුනත් ඒ සදහා අවශ්‍ය දැනුම සහ ප්‍රාග්ධනය නොමැති වීම ප්‍රධාන ගැටලුවකි.ඒ සදහා මේ වැඩපිළිවෙළ මගින් නිසි විසදුමක් ලැබෙන්නේ නම් එය ඉතාම හොදය.එන්ටර්ප්‍රයිස් - ශ්‍රී ලංකා නම් කර ඇත්තෙම පොළී සහනාධාරා යෝජනා ණය යෝජනා ක්‍රමයක් ලෙසය.අද පවතින ඉහළ පොලී අනුපාත නිසා ව්‍යවසායකයන් වීමට අපේක්ෂා කරන පිරිසට ගැටළුවක් තිබුණි.රජය ඊට මැදිහත් වීම නිසා ඔවුන්ට විශාල සහනයක් උදා වන බවට කිසිම සැකයක් නැත.
රජයෙන් පොලී මුදලින් විශාල ප්‍රමාණයක් දැරීමට යන නිසා ඔවුන්ගේ බර අඩු වේ.මෙම වැඩපිළිවෙළ හරහා ලබාදෙන ණයවල පොලියෙන් විශාල ප්‍රමාණයක් රජය විසින් ගෙවන බවත් ඒ සඳහා 2018 වර්ෂය වෙනුවෙන් රුපියල් බිලියන පහකට වඩා වෙන්කර ඇති බවත් දැනටම ප්‍රකාශයට පත් වී ඇත.ඕනෑම ව්‍යාපාරයකට ඉදිරිපත් වෙන කාන්තාවන්ට රජය විසින් ලබාදෙන ණය සහනයට තවත් සියයට 10ක් එකතු කොට ලබාදීමත් හමුදාවේ ආබාධිත අය ඇතුළු අනෙක් ආබාධිතව සිටින ජනතාවටත් මේ ණය ක්‍රමය යටතේ තවත් සියයට 10 ක වැඩි පොලී සහනයක් ලබාදීමත් මේ වැඩසටහනින් සිදුවෙයි.

එන්ටර්ප්‍රයිස් - ශ්‍රී ලංකා ණය ක්‍රමය යටතේ අංශ ගණනාවක් වෙනුවෙන් ණය යෝජනා ක්‍රම රැසක් දැනටමත් දියත් කර ඇත. මේ අනුව ගොවි ජනතාවට, ධීවර කර්මාන්තයට, පශු සම්පත් නිෂ්පාදකයින්ට, ගෙවතු වගාකරුවන්ට, අත්කම් ඇඟලුම් නිෂ්පාදකයන්ට සහ සංචාරක ක්ෂේත්‍රයේ යෙදී සිටින සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට මිලියන 750 ක් දක්වා ණය ලබාදෙන වැඩසටහන් ‍පහළොවකට වඩා මෙතුළින් ක්‍රියාත්මක වෙන බව රජය ප්‍රකාශයට පත් කොට තිබේ.
මේ ගැන බැංකුවට එන අය දැනුවත්සෑ කිරීම සදහා සැම රාජ්‍ය බැංකුවකම ‘එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා’ කවුන්ටරයක් පිහිටුවා ඇත. ඒ අනුව ලංකා බැංකුව, මහජන බැංකුව සහ ප්‍රාදේශීය සංවර්ධන බැංකුව සතු ලංකාවේ සෑම ශාඛාවකම ජූලි මාසයේ පළවෙනිදා සිට ‘එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා’ නමින් අලුත් කවුන්ටරයක් පිහිටුවනු ලැබ ඇත.රජය කියන තරම්ම පහසුවෙන් මේ ණය මුදල් ගත හැකිද යන්න ඔබටම මේ බැංකු කවුන්ටරයට ගොස් ඔබට විමසා බැලිය හැකිය . අනිත් අතට රජය පොලී සහනයක් දුන්නත් මේ ණය වශයෙන් ලබා දෙන්නේ කාගේ මුදල්ද ? රාජ්‍ය බැංකුවල තැන්පතු හිමියන්ගේ මුදල්මය.ඒ බවද අප අමතක කළ යුතු නැත.ඒ නිසා එම තැන්පත්කරුවන්ගේ මුදල් වලට නිසි ආරක්ෂාවක් තිබීම අත්‍යවශ්‍ය වෙයි. නයට දෙන මුදල්එ නැවත අය කර ගත යුතු වේ. එම මුදල් නැවත නැවත වෙනත් අයට ණයට දිය හැක්කේද එවිටය. රාජ්‍ය බැංකුවල සුරක්ෂිතතාවට මෙන්ම තැන්පත්කරුවන්ගේ මුදල්වල ආරක්ෂාවටත් එය ඉතා වැදගත්ය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
shyam.divaina@gmail.com
දිවයින - 2018.08.30
Views
73
2018-08-30 02:48:58
ජනප්‍රිය පුවත්