ජුනි මස ආනයන වියදම් 18.1 % කින් ඉහළ ගිහින්


2018 ජනවාරි-ජූනි කාලපරිච්ඡේදය තුළ සම්පූර්ණ අපනයන ආදායම ඩොලර් මිලියන 5,732 ක් ලෙසින් සටහන් වන අතර මෙම මාස 06 දී ආනයන සඳහා ශ්‍රී ලංකාව විසින් දරා ඇති වියදම ඩොලර් මිලියන 11,441 කි.

2018 වසරේ මුල් මාස 06 සඳහා විදේශීය අංශයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ මේ වන විට ප්‍රකාශයට පත් වී ඇති නවතම සංඛ්‍යාලේඛන අනුව මේ බව වාර්තා වේ .

මේ අනුව වසරේ මුල් භාගය තුළ දී වෙළෙඳ ගිණුමේ වාර්තා වන හිඟය ඩොලර් මිලියන 5,709 කි.

මේ අතර 2018 ජූනි මාසයේ දී අපනයන ආදායම ඩොලර් මිලියන 1,024 ක් ලෙසින් සටහන් වන අතර එය 2017 ජූනි මාසයේ දී වාර්තා වූ ඩොලර් මිලියන 987 ක අපනයන ආදායම හා සැසඳීමේ දී 3.8% ක වර්ධනයකි. කෙසේ වෙතත් අපනයන ආදායම වර්ධනය වූවාට වඩා පස්ගුණයකට වඩා වැඩි වේගයකින් ආනයන වියදම 2018 ජූනි මාසයේ දී වර්ධනය වී තිබේ. එහිදී 2017 ජූනි මාසයේ දී වාර්තා වූ ඩොලර් මිලියන 1,541 ක ආනයන වියදම 18.1% කින් ඉහළ ගොස් 2018 ජූනි මාසයේ දී ඩොලර් මිලියන 1,819 ක් ලෙසින් සටහන් වේ.

මෙහිදී ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ ආනයන වර්ධනය ඉහළ යෑම හේතුවෙන් වෙළෙඳ ගිණුමේ හිඟය 2017 වසරේ ජූනි මාසයට සාපේක්ෂව 2018 වසරේ ජූනි මාසයේ දී අඛණ්ඩව පුළුල් වී ඇති බවයි. 2018 වසරේ පළමු භාගය තුළ සමුච්ඡිත වෙළෙඳ හිඟය 2017 වසරේ පළමු භාගයට සාපේක්ෂව කැපී පෙනෙනජ පුළුල් වී ඇති බව මහ බැංකුව මෙහිදී අවධාරණය කර සිටී.
Views
2466
2018-08-28 15:53:28
ලෝක ආර්ථිකය
ජනප්‍රිය පුවත්