මහ බැංකුව මහජන විශ්වාසය දිනා ගත යුතුයි - ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු ජේෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය ඩබ්. ඒ. විජේවර්ධන
ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා සහ මුදල් මණ්ඩලය මහජන විශ්වාසය දිනා ගත යුතු බවත් එය මහබැංකුවට සිය ස්වාදීනත්වය රැක ගැනීමට ඉවහල් වන බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ආචාර්ය ඩබ්. ඒ. විජේවර්ධන මහතා අද (28) ප්‍රකාශ කළේය.

මහ බැංකු නිලධාරීන් තනතුරු හෙබවිය යුත්තේ මහ බැංකුවේ අයිතිකරුවන් ලෙස නොව එහි විශ්වාසනීය භාරකරුවන් ලෙස යැයි ද ආචාර්ය විජේවර්ධන මහතා එහිදි කීය.

ශ්‍රී ලංකා මහ බැංකුවට වසර 68ක් සැපිරීම නිමිත්තෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ ‘ඇට්‍රියම්’ ශ්‍රවණාගාරයේදී මහ බැංකුවේ සංවත්සර දෙසුම පවත්වමින් ආචාර්ය ඩබ්. ඒ. විජේවර්ධන මහතා මේ බව කීවේය .
“ශ්‍රී ලංකා මහ බැංකුවේ ස්වාධීනත්වය නැවත විමසා බැලීම : මතුවෙමින් තිබෙන අර්බුද විසඳා ගන්නේ කෙසේ ද මැයෙන් ආචාර්ය ඩබ්. ඒ. විජේවර්ධන මහතා මෙම දේශනය කළේය.


“පොත් සටහන් තබමින් මුදල් මුද්‍රණය කිරීමට මහ බැංකුවට ඇති බලය අවභාවිත කිරීමේ ස්වභාවික නැඹුරුවක් සහිත ස්වයං ලැදියාවක් දේශපාලන බලාධිකාරිය සතුව තිබෙනවා. මහ බැංකුවල කළමනාකාරීත්වයන් නුවණක්කාර මූල්‍ය ප්‍රතිපත්ති සැලකිල්ලට ගනිමින් එවැනි බල කිරීමක් සහිත ඉල්ලීම්වලට විරෝධය පළ කළ විට දේශපාලනඥයන් මහ බැංකුවට සහඑ එහි ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට ප්‍රසිද්ධියේ සහ මහජනතාව ඉදිරියේ චෝදනා කරනවා.

එහි අරමුණ මහ බැංකු නිලධාරීන් බිය ගැන්වීමයි. ඒ තුළින් තමන්ගේ අවශ්‍යතා සපුරා ගැනීමට ඔවුන් උත්සාහ කරනවා.

දේශපාලනඥයන්ගේ එවැනි හැසිරීම් නතර කිරීමට හැකි හොඳම ක්‍රමවේදය මහ බැංකුවේ ස්වාධීනත්වයට පීඩා කිරීමට ගන්නා උත්සහායන්ට එරෙහිව සිවිල් සමාජයේ හඬ එසවීමයි.

එහෙත් හේතු දෙකක් නිසා මහ බැංකුවලට එය කිරීමට නොහැකි වී තිබෙනවා. පළමුවැන්න තම සාමාජිකයන් බලපෑමක් නොමැති කරුණු සම්බන්ධයෙන් සිවිල් සමාජය දක්වන උදාසීනත්වයයි. උද්ධමන ඔවුන් අත්පත් කරගෙන සිටින මූල්‍ය වත්කම්වල අගය විනාශ කරමින් ඔවුන්ට පහර දුන්න ද ඒවායේ පිරිවැය දැරිය යුත්තේ අනාගතයේදීය.

ඇතැම් මහ බැංකුවල සිදු වූ වඩාත් හොඳින් අනාවරණය වූ අපකීර්තිමත් සිදුවීම් නිසා සිවිල් සමාජය තුළ මහ බැංකු සම්බන්ධයෙන් සතුරු හා එදිරිවාදිකමක් ඇති වී තිබෙනවා.

මෑතකාලයේදී සිදු වූ එවැනි සිදුවීම් කිහිපයක් මෙහි සඳහන් කළ යුතුය. අල්ලස් ලබා ගැනීමේ චෝදනාවකට ලැට්වියාවේ මහ බැංකු අධිපතිවරයා අත්අඩංගුවට පත්වුණා. කලින් පැවැති පරිපාලනය සමයේදී ඉඩම් අලෙවි කිරීමේ චෝදනාවකට මැලේසියාවේ මහ බැංකු අධිපතිවරයාට සිය ධුරයෙන් ඉවත් වීමට සිදුවුණා. ප්‍රධාන පෙළේ වාණිජ බැංකුවක් සමඟ සිදු වූ බව කියන මුදල් වංචාවක් නිසා ඇෆ්ගනිස්තාන මහ බැංකු අධිපතිවරයා එරටින් පලා ගොස් ඇති බව වාර්තා වුණා.

හැකර්කරුවන් මහ බැංකුවේ විදෙස් සංචිතවලින් එක්සත් ජනපද ඩොලර් මිලියන 81ක් අයුතු ලෙස තමන් සන්තක කරගැනීම සම්බන්ධයෙන් එල්ල වූ චෝදනාවක් නිසා බංග්ලාදේශ මහ බැංකු අධිපතිවරයාට එම ධුරයෙන් ඉල්ලා අස්වෙන්න සිදුවුණා.

සදාචාර විරෝධී අයුරින් රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොළේ අභ්‍යන්තර තොරතුරු බාහිර පාර්ශවවලට ලබාදුන් බවට එල්ල වූ චෝදනාවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් දෙන්නැයි මහේස්ත්‍රාත් අධිකරණය කළ නියෝගයක් හිටපු ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයා නොසලකා හැරියා.

මෙවැනි සිදුවීම් පුවත්පත්වල වාර්තාව වුණාම මහ බැංකු සම්බන්ධයෙන් මහජනතාවගේ තිබෙන ගෞරවනීය විශ්වාසය ප්‍රකෝපකාරී එදිරිවාදිකමක් බවට පත් වෙනවා. එසේ වුණාහම මහ බැංකුවේ සිටින පිරිස්වලට හානිය පාලනය කිරීමට කඩිනම් පියවර ගැනීම වෙහෙසකාරී ක්‍රියාවක් බවට පත්වෙනවා.

මහ බැංකුව කොතරම් හොඳ දේ කළත් මහජනතාවගේ මනසේ රැඳෙන්නේ ඒවා නෙමෙයි. එක් වරදක් සදාකාලිකවම මහ බැංකුවේ කීර්තිනාමයට හානි කිරීමට ප්‍රමාණවත්.

මහ බැංකුවේ ප්‍රධාන පාර්ශවකරුවා වනුයේ මහජනතාවයි. ඔවුන් මහ බැංකුව නුවණක්කාරී ලෙස හෝ එසේ නොමැතිව ජනනය කරන මුදල් දරාගෙන සිටිනවා. එම නිසා මහ බැංකුව සහ එහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් වගකීමෙන් බැඳි සිටිය යුත්තේ ඔවුන් අදාළ තනතුරුවලට පත් කරන දේශපාලන ස්වාමිවරුන්ට නොව මහජනතාවටයි.

ඔවුන් එම තනතුරු හොබවන්නේ මහ බැංකුවේ අයිතිකරුවන් ලෙස නොව විශ්වාසනීය භාරකරුවන් ලෙසයි. එහෙත් මේ අවස්ථා දෙකේදීම ඔවුන්ගේ අසමත්වීම මහ බැංකුවට මහත් ව්‍යසනයක් නිර්මාණය කරනවා. විශේෂයෙන්ම මහජනතාව ඉදිරියේ විශ්වාසය පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් තිබෙන අසමත්මක මහ බැංකුවට මහ විනාශයක් ගෙන දෙනවා”.

ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, නියෝජ්‍ය
අධිපති කේ .ඩී රණසිංහ සහ නියෝජ්‍ය අධිපති සී .ජේ .පී .සිරිවර්ධන යන මහත්වරුන් ඇතුළු ශ්‍රී ලංකා මහ බැංකුවේ අනෙකුත් නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.
Views
146
2018-08-28 14:19:28