විදෙස්‌ අලෙවි නියෝජිතයන් පත් කිරීමේදී ශ්‍රීලංකන් රූලෙන් නිසි ක්‍රමවේදය අනුගමනය නොකළ අවස්ථා කොමිසමේදී හෙළි වෙයි
ශ්‍රීලංකන් ගුවන් සමාගම විවිධ රටවල්වලට අලෙවි නියෝජිතයන් පත් කිරීමේදී එම සමාගම විසින් නිසි ක්‍රියාපටිපාටිය අනුගමනය නොකළ අවස්‌ථා රැසක්‌ ඊයේ (20 දා) ශ්‍රීලංකන් මිහින් ලංකා ජනාධිපති කොමිෂන් සභාවේ සාක්‍ෂි විභාගයේදී අනාවරණය විය.

විශේෂයෙන් සීෂෙල්ස්‌ සහ ඩුබායි යන රටවල් සඳහා ශ්‍රීලංකන් ගුවන් සමාගමේ අලෙවි නියෝජිතයන් පත් කිරීමේදී එම සමාගමේ අත්පොතේ සඳහන් විධිවිධාන උල්ලංඝනය කර ඇති අවස්‌ථා ගණනාවක්‌ ද ඊයේ කොමිසමේ සාමාජිකයන්ගේ අවධානයට ලක්‌ විය.

කොමිසම හමුවේ සාක්‍ෂි දුන් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ කළමනාකාරිනී (කර්මාන්ත කටයුතු) ෂිරෝමි කුරේ මහත්මියගේ සාක්‍ෂි විභාගයේදී මේ තොරතුරු අනාවරණය විය.

එසේම ශ්‍රීලංකන් ගුවන් සමාගමේ අත් පොත පිළිගත් ක්‍රියාපටිපාටියෙන් තොරව අවස්‌ථා ගණනාවකදීම සංශෝධනය කර ඇති බවත් ඒ සඳහා අධ්‍යක්‍ෂ මණ්‌ඩල අනුමැතිය ලබාගෙන නොමැති බවත් කොමිසම හමුවේ අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ෂිරෝමි කුරේ මහත්මිය කීවාය.

කොමිසමේ සභාපති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අනිල් ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කොමිසම ඊයේ (20 දා) උදේ 10.00 ට පමණ රැස්‌විය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
Views
101
2018-08-24 14:28:38
ආර්ථික පුවත්