ශ්රී ලංකන් ගුවන් සේවයේ හිටපු සභාපති නිශාන්ත වික‍්‍රමසිංහ ගිය ආණ්ඩුව කාලයේදී කළ වික්‍රමාන්විත ක්‍රියා ශ‍්‍රී ලංකන් ගුවන්, ශ‍්‍රී ලංකන් කේටරින් සහ මිහින් ලංකා ජනාධිපති කොමිසම හමුවේ හෙළිදරව් වෙමින් තිබේ.මේ අනුව පසුගිය සති දෙකේදී ඔහුගේ මෙවැනි ඉමහත් ආන්දෝලනාත්මක වික්‍රමයන් දෙකක් ජනාධිපති කොමිසමේ ශාක්ෂි විභාගයේදී අනාවරණය විය .ඉන් එකක් නම් ශ‍්‍රී ලන්කන් ගුවන් යානයක් හරවා සිංගප්පුරුවට ගෙන්වා ගැනීමේ සිද්ධියයි . එය සිදු කර තිබුණේ 2014 ජනවාරි 22 වැනිදාය.එය අපි ගිය සතියේ ලිපියෙන් හෙළිදරව් කළෙමු. ගිය සතියේ ‘දිවයින ඉරිදා සංග‍්‍රහයේ’ කතුවැකිය ලියා තිබුණේ ද ඒ ගැනය . එම කතුවැකියේ එය විස්තර කර තිබුණේ ශ‍්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු සභාපති නිශාන්ත වික‍්‍රමසිංහ ගිය ආණ්ඩුව කාලයේදී කළ හරක් වැඩක් ලෙසය.මේ ලිපියෙන් අප කීමට යන්නේ කොමිසමේදී හෙළිදරව් වූ ඔහුගේ කළ තවත් හරක් වැඩක් ගැනය .මෙය එසේ මෙසේ වික්‍රමයක් නොව ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නිලධාරීන් කොමිසමට කියා සිටි පරිදි ශ‍්‍රී ලංකන් ගුවන් සමාගමට ඇමරිකානු ඩොලර් 90260 ක (ශ‍්‍රී ලංකා මුදලින් රුපියල් 1,17,33000 කට අධික මුදලක) අති විශාල පාඩුවක් සිදු කළ වික්‍රමයකි . ශාක්ෂි වලින් ප්‍රකාශ වූ පරිදි මෙය සිදුව තිබුනේ 2014 ජනවාරි 25 වැනිදාය .
ඒ අනුව මුල් සිදු වීමෙන් දින තුනකට පසු මේ සිදුව තිබේ .මේ සිද්ධිය ශ‍්‍රී ලංකන් - මිහින් ලංකා ජනාධිපති කොමිසමට අනාවරණය වුයේ ඉකුත් අගෝස්තු 15 වැනිදාය .ඒ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් මෙහෙයුම් කළමනාකරුවන් වන ධම්මික සේනානායක සහ නිශාන්ත හඳපාන්ගොඩ යන මහත්වරුන්ගේ ශාක්ෂියෙනි .ශ‍්‍රී ලංකන් ගුවන් සමාගමේ 2014 ජනවාරි
25 දින උදේ සේවයේ නියුතු ගුවන් මෙහෙයුම් කළමනාකරු ගෙන තිබූ තීරණයක් වෙනස් කරමින් ප්‍රංශය බලා යන ගුවන් යානයක් ගුවන්ගත කිරීමට ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්රමසිංහ මහතා කළ නියෝගයක් නිසා ඉහත කී රු . කෝටියකට අධික පාඩුව ශ්‍රී ලංකන් ගුවන් සමාගමට වූ බව ගුවන් මෙහෙයුම් කළමනාකරු නිශාන්ත හඳපාන්ගොඩ මහතා කොමිසමේ ප්‍රශ්න කිරීම් හමුවේ කියා සිටියේය.මේ සිදු කළ හානියට වග කියන්නේ කව්ද? මේ ගැන නිශාන්ත වික‍්‍රමසිංහ මහතාටත් මේ කොමිසම හමුවට පැමිණ පිළිතුරු දීමට සිදු වනු ඇත. මේ ලිපියෙන් අපගේ අවධානය යොමු කරන්නේ මෙකී නිශාන්ත වික‍්‍රමසිංහගේ දෙවන වික්‍රමය ගැනය .
මුල් සිදුවීම වූ ගුවන් යානයක් හරවා සිංගප්පුරුවට ගෙන්වා ගැනීම නිසා ද ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අතිරේක වියදම් දැරීමට සිදුව තිබුණත් එම වියදම කොතෙක්දැයි කොමිසමේ දී හෙළිදරව් වුයේ නැත .එය කොමිසමට හෙළි කළ ශක්ශිකරු කීවේ එම වියදම පිළිබද තක්සේරුවක් කර නොතිබූ බවයි .එහෙත් දෙවන සිදුවීම වන ශ‍්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් මෙහෙයුම් කළමනාකරු ගෙන තිබූ තීරණයක් වෙනස් කරමින් පැරිස් ගුවන් යානය ගුවන්ගත කිරීමට හිටපු සභාපති නිශාන්ත වික්රමසිංහ මහතා කළ නියෝගයක් නිසා ශ‍්‍රී ලංකන් ගුවන් සමාගමට සිදු වූ පාඩුව කොමිසම හමුවේ ශාක්ෂි මගින් අනාවරණය වීම විශේෂත්වයකි . එම පාඩුව ඇමරිකානු ඩොලර් 90260 කි .2014 ජනවාරි 25 දින පැවති විනිමය අනුපාත අගයන් අනුව ගණනය කළ විට එම අගය ශ‍්‍රී ලංකා රුපියල් එක්කෝටි දාහත් ලක්‍ෂ තිස් දහසකට (11,730,000 කට) අධිකය. ප්‍රංශ ගුවන් යානය කලින් පිටත් කළ නිසා සමාගමට අතිරේක වියදමක් දැරීමට සිදුව තිබිණි .ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි 2014 ජනවාරි 25 දින ර පැරිස් බලා යන ශ්‍රී ලංකන් ගුවන් යානය පිටත් කිරීමට සිදු වූ නිසා තම නියමිත ගුවන් යානය මඟ හැරුණු සියලු ගුවන් මගීන්ට ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ වියදමින් ගුවන් ටිකට්‌පත් සැපයීමට සිදු වූ බව ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් මෙහෙයුම් කළමනාකරු නිශාන්ත හඳපාන්ගොඩ මහතා එදින ශ්‍රී ලංකන් - මිහින් ලංකා ජනාධිපති කොමිසමට කීවේය. එසේ තම මීලග ගුවන් යානය මග හැරී තිබු මුළු මගීන් ප්‍රමාණය 128 දෙනෙකි. මේ සිදු වීම නිසා ඒ සියලු දෙනා අපහසුතාවට පත් වූ බවට කිසිම සැකයක් ඇත . ඔවුන්ගේ කාලය නාස්ති වීම සහ ඔවුන්ට සිදු වූ අපහසුව නිසා අපේ ගුවන් සේවයේ හොද නමට වූ කැළල මුදලින් මැනිය නොහැකිය . සිදුවූ මුල්‍යමය පාඩුව වැඩි වශයෙන්ම සිදුව තිබුණේ එම ගුවන් මගීන්ට ගුවන් ටිකට්පත් මිලදී ගැනීමට සිදු වූ නිසා
වුවත් හිටපු සභාපතිවරයාගේ නියෝගය නිසා මෙම අති විශාල මූල්‍යමය පාඩුවට අමතරව ශ‍්‍රී ලංකන් ගුවන් සමාගමේ කීර්ති නාමයට ද විශාල හානියක් වූ බව මේ ගැන කොමිසමේ ශාක්ෂි දුන්හඳපාන්ගොඩ මහතා පිළිගත්තේය. මේ ගුවන් සමගම දිගින් දිගටම පාඩු ලබමින් තිබියදී සභාපතිවරයෙක් ක්‍රියා කළ යුත්තේ මෙලෙස නොව එම පාඩුව රුපියලකින් හෝ අඩු කර ගැනීමටය .එසේ කටයුතු කළා නම් එය මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාටත් හොදය.මහින්ද රාජපක්ෂගේ මස්සිනා වන නිශාන්ත වික්‍රමසිංහ එසේ කටයුතු නොකිරීමේ අපවාද විදින්නට මහින්ද රාජපක්ෂ මහතාටත් සිදුවීම වැළක්විය නොහැකිය. ගිය සතියේ ඉරිදා දිවයින කතුවැකියේ මේ මස්සිනා ගැන මෙසේ සදහන්ව තිබුණි .
"නිශාන්ත වික්‍රමසිංහ යනු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මස්සිනාය. මෙවැනි මස්සිනාලා තවත් තුන් හතර දෙනෙකු සිටියේ නම් මහින්ද පරදින්නේ 2015 දී මෛත්‍රීට නොව 2010 දී ෆොන්සේකාටය ."
අතිරේක සොලිසිටර් ජනරාලේ නීල් උනම්බුව මහතාගේ මෙහෙයවීම යටතේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් මෙහෙයුම් කළමනාකරුවන් දෙදෙනා වන නිශාන්ත හඳපාන්ගොඩ මහතා සහ ධම්මික සේනානායක මහතා ඉකුත් අගෝස්තු 15 දින කොමිසම හමුවේ සාක්‌ෂි දුන් අතර එම ශාක්ෂිවලින් හෙළි වූ මේ සිද්ධියේ වැඩි විස්තර අපි තවදුරටත් සාකච්ජා කරමු .
මින් නිශාන්ත හඳපාන්ගොඩ මහතා ජනධිපති කොමිසමේ පොලිස් ඒකකයට ඉකුත්ජුලි 19 දින ප්‍රකාශයක් ලබා දී ඇත .එම ප්‍රකාශයෙන් ඔහු කී තොරතුරු දිවුරුම් ප්‍රකාශයක් මගින් කොමිසමට ඉදිරිපත් කර තිබේ . එය සමග සමඟ ඔහුගේ රැකියා විස්‌තරයක් ද කොමිසමට ඉදිරිපත් කරනු ලැබිණි. මේ අනුව ඔහුගේ තනතුරේ රාජකාරිමය වගකීම් ගැන ද හදපාන්ගොඩ මහතා කොමිසමට විස්තර කළේය . ඒ අනුව නියමිත පරිදිම ගුවන් ගමන් බිඳ වැටීමට ඉඩ නොදී පෙර සැලසුම් කළ පරිදි ගුවන් ගමන් සිදු කිරීමට හැකිතාක් උත්සාහ ගැනීම තම මූලිකම රාජකාරි වගකීමක් බවද හඳපාන්ගොඩ මහතා කොමිසමට කීවේය. ඒ අනුව ගුවන් මගීන්ගේ අවශ්‍යතාව ගැන වඩාත් සැලකිලිමත් විය යුතුයි නේදැයි ඇසු ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඔහු ඒ බව පිළිගත්තේය .අතිරේක සොලිසිටර් ජනරාලේ නීල් උනම්බුව මහතා ශක්ශිකරුගෙන් මුලික පොදු තොරතුරු විමසීමෙන් ප්‍රස්තුත කාරණය ගැන ප්‍රශ්න කළේය . ඒ අනුව 2014 ජනවාරි 25 දින මොකද වුණේ කියා අසු ප්‍රශ්නයට හදපාන්ගොඩ මහතා මෙසේ පිළිතුරු දුන්නේය .
" එදින මගේ රාත්‍රි සේවා මුරය තිබුණේ. මම 7.00 ට රාජකාරියට ගියා. ඒ අවස්‌ථාවේ ධම්මික සේනානායක මහතා රාජකාරි කරමින් සිටියේ. මට වැඩ භාර ගන්න තිබුණෙ රාත්‍රි 7.30 ටයි. ඒ අනුව පැය භාගයක් ගුවන් ගමන් මෙහෙයුම් කටයුතු පිළිබඳ විස්‌තර ඔහු මට දැනුම් දීම කළා. ඉදිරි පැය 12 ක කාලයේ රාජකාරි කටයුතු පහසුවෙන් කරගෙන යැමට එසේ කරනවා. එහිදී ගුවන් ගමන් ප්‍රමාද වීම්, යම් ගුවන් යානයක් නඩත්තු කටයුතු සඳහා යොමු කර තිබෙනවා නම් එවැනි විස්‌තර ලබා දෙනවා. මෙහිදී ගුවන් යානා දෙකක් යම් තාක්‌ෂණික ප්‍රශ්න මත ගුවන් ගමන් සඳහා යෙදවීමට අපහසු වී තිබුණා. ඒ නිසා මාලේ සිට කොළඹට ඒමට නියමිත ගුවන් යානයේ සහ ෆ්රැන්ක්‌ෆර්ට් බලා යැමට තිබූ ගුවන් යානා දෙකේ යම් ප්‍රමාදයක් සිදුව තිබුණා. ඒ අනුව ෆ්රැන්ක්‌ෆර්ට් බලා යන්න තිබූ ගුවන් යානය 2014 ජුලි 26 දින අලුයම 5.50 දක්‌වා ප්‍රමාද කර තිබුණා. එසේම මාලදිවයිනේ සිට ඒමට තිබූ ගුවන් යානයත් 2014 ජනවාරි 25 දින රාත්‍රි 8.30 සිට රාත්‍රි 11.00 දක්‌වා පැය දෙක හමාරකින් පමණ ප්‍රමාද වුණා. එම මාලේ ගුවන් යානයේ ප්‍රංශය බලා යැමට සිටි ගුවන් මගීන් 75 දෙනෙක්‌ද සිටියා. ඒ අනුව මට පෙර සිටි ගුවන් මෙහෙයුම් කළමනාකරු පැරිස් බලා යන යූ. එල්. 563 ගුවන් යානය පිටත් වන වෙලාව ප්‍රමාද කිරීමට තීරණයක් ගෙන තිබුණා. ඊට හේතුව මාලේ සිට එන ගුවන් මගීන් 75 දෙනකුට ගුවන් ගමන් පහසුව සලසන්නයි. එහෙත් පැරිස් ගුවන් යානය ප්‍රමාද කිරීමට ගුවන් මෙහෙයුම් කළමනාකරු ගත් තීරණය වෙනස් කර එම ගුවන් යානය නියමිත වෙලාවටම පිටත් කරන ලෙස ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්රමසිංහ මහතා උපදෙස් දී තිබුණා. ඒ බව ධම්මික මහතා මට කළ විස්‌තරයෙදී කීවා
මගේ 27 වසරක සේවා කාලය තුළ කිසිදිනක මෙවැනි සිදුවීමක් වෙලා නැහැ. මාලේ සිට පැමිණෙන මගීන් 75 දෙනෙක් යූ. එල්. 563 ගුවන් යානයෙන් පැරිස් බලා යන්න නියමිතව සිටියා. මේ නිසා එම මගීන්ට පැරිස් ගුවන් යානය මඟ හැරෙනවා. එහෙත් නිශාන්ත වික්රමසිංහ මහතා පැරිස් ගුවන් යානයේ විශේෂ දූත පිරිසක් සිටින බව පවසා එය නියමිත වෙලාවට ගුවන්ගත කරන ලෙස උපදෙස් දී තිබුණා.
ගුවන් මගීන් කී දෙනෙක්‌ට මේ නිසා තම ඊළඟ ගුවන් යානය මඟ හැරුණාද යන ප්‍රශ්නයට හදපාන්ගොඩ මහතා දුන් පිළිතුර මෙයයි .
" කොළඹ සිට ෆ්රැන්ක්‌ෆර්ට් ගිය ගුවන් යානයේ ගුවන් මගීන් 84 දෙනකුට සහ මාලේ සිට පැමිණි මගීන් 44 දෙනකුට. ඒ අනුව මුළු මගීන් 128 දෙනකුට ඔවුන්ගේ ගුවන් යානය මඟ හැරුණා. ඒ සඳහා ඔවුන්ට ගුවන් ටිකට්‌පත් ලබාදීමට සිද වුණා ඔවුන්ගේ නියමිත ගමනාන්තයට යැම සඳහා මාලේ සිට 75 දෙනෙක් පැරිස් යන්න හිටියත් චයිනා ඊස්‌ටර්න් ගුවන් යානය මගින් මාලේ සිට ඉන් මගීන් 24 දෙනෙක් කොළඹට ගෙන්වා ගැනීමට හැකි වුණා. ඒ නිසා එම ගුවන් මගීන් 75 දෙනාගෙන් 44 දෙනකුට පමණයි අපේ යූ. එල්. 563 පැරිස් ගුවන් යානය මඟ හැරුණේ. ඉතිරි 24 දෙනා එම ගුවන් යානයේම පිටත් කළා. එහෙත් එම මගීන්ට මාලේ සිට කොළඹට චයිනා ඊස්‌ටර්න් ගුවන් යානයෙන් ගෙන්වා ගැනීමට ටිකට් ගැනීමට සිදු වුණා.'
එම පැරිස් ගුවන් යානයේ ගමන් ගත් ගුවන් මගීන්ගේ නාම ලේඛනය ද එදින කොමිසමට ඉදිරිපත් කරන ලදී. ශ්‍රී ලංකන් ගුවන් සමාගමට මාලේ සිට පැමිණි ගුවන් මගීන් සඳහා ගුවන්ඇ ටිකට්පත් වෙනුවෙන් ඇමරිකානු ඩොලර් 4296 ක් ද අහාර වෙනුවෙන් තවත් ඇමරිකානු ඩොලර් 140 ක් ද වැය වය කිරීමට සිදුව තිබුණි. ඒ අනුව මාලේ ගුවන් මගීන් වෙනුවෙන් ඇමරිකානු ඩොලර් 4436 ක අතිරේක වියදමක් දැරීමට ශ්‍රී ලංකන් ගුවන් සමාගමට සිදු වුයේය .
නිශාන්ත වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ගුවන් ගමන වෙනස් කළ නිසා සිදුව ඇති මුළු අලාභය ඇමරිකානු ඩොලර් 90260 කි . ෆ්රැන්ක්‌ෆර්ට් ගුවන් යානයේ මගීන් වෙනුවෙන් ඇමරිකානු ඩොලර් 85475 ක් සහ මාලේ ගුවන් මගීන් වෙනුවෙන් ඇමරිකානු ඩොලර් 4436 ක් වශයෙන් මේ මුළු වියදම ශ්‍රී ලංකන් ගුවන් සමාගමට දරන්නට සිදුව තිබු බව
ශ්‍රී ලංකන් - මිහින් ලංකා ජනාධිපති කොමිසමේ ශාක්ෂි දෙමින් නිශාන්ත හදපාන්ගොඩ මහතා කීවේය .
මෙවැනි සිදුවීමක් මීට පෙර කිසිම දිනක සිදුව නැති බවද ඔහු කීවේය .කොමිසමේ සභාපති විශ්‍රාමික ශේ්‍රෂ්ඨාධිකරණ විනිසුරු අනිල් ගුණරත්න මහතා ශක්ශිකරුගෙන් විමසුවේ එම සිදුවීමෙන් පසු එවැනි සිදුවීම් වෙලා තිබෙනවාද යන්නයි .තම සේවා කාලය තුළ එවැන්නක් සිදුව නැති බව ඔහු කීවේය . පැරිස් බලා විශේෂ දූත මණ්‌ඩලයක් එම ගුවන් යානයෙන් යන බව නිශාන්ත වික්රමසිංහ මහතා පවසා තිබුණත් සාක්‌ෂිකරු කීවේ තමාට කිසිම අවස්‌ථාවක ඒ කවුද කියා දැනුම් දැනුම් නොදුන් බවයි . පසුව හෝ ඒ ගැන තොරතුරු ලැබුණේ නැතැයි ද ඔහු කීවේය .මේ සිද්ධිය ගැන සමාගම තමාගෙන් පසුව ප්‍රශ්න කිරීමක් නොකළ බවත් මින් ගුවන් සමාගමට සිදු වූ පාඩුව ගැන විගණන පරීක්‌ෂණයක් තමාගේ දැනුම අනුව නොකළ බවත් ඔහු කීවේය .එහෙත් මේ ගැන පොලිස් මූල්‍ය අපරාධ කොට්‌ඨාසයට ප්‍රකාශයක් ලබා දුන් බව ශාක්ෂිකරු කීවේය .
එදින (15දා) උදේ කොමිසම හමුවේ මුලින්ම සාක්‌ෂි දුන්නේ ගුවන් මෙහෙයුම් කළමනාකරු ධම්මික සේනානායක මහතාය. ඔහුගෙන් අසන ලද ප්‍රශ්න සහ ඔහු ඒවාට ලබාදුන් පිළිතුරු මෙසේය.
අ. සො. ජ. - පැරිස් ගුවන් යානයේ (යූ. එල්. 563) යනවා කියා සභාපති නිශාන්ත වික්රමසිංහ මහතා ප්‍රකාශ කළ වැදගත් අය (මගීන්) කවුද?
සාක්‌ෂිකරු - එම මගීන් කවුදැයි සභාපතිවරයා කිව්වේ නැහැ.
නිශාන්ත වික්රමසිංහ මහතා දුරකථනයෙන් කතා කර ඉක්‌මනින් ඔහුගේ උපදෙස් ක්‍රියාත්මක කරන ලෙස අවධාරණය කර සිටියා. ගුවන් නියමුවාත් ඔහුට දුරකථනයෙන් කතා කළ බව කීවා. මම ඒ අවස්‌ථාවේ සභාපතිතුමාගේ උපදෙස් ක්‍රියාත්මක කිරීමට සූදානම් වන බව ඔහුට (නිශාන්ත වික්‍රමසිංහ මහතාට) කීවා. ඔහු එහෙනම් එය කරන ලෙස කිව්වා. ඒ අනුව පැරිස් ගුවන් යානය නියමිත වෙලාවටම ගුවන්ගත කිරීමට පියවර ගත්තා.
සභාපති - ඔබ සභාපතිගෙන් ඇහුවද ඔහු සඳහන් කළ ගුවන් මගීන් කවුද කියලා?
සාක්‌ෂිකරු - නෑ. මම නම් අහන්න ගියේ නෑ. ඔහුට අවශ්‍ය වූයේ හැකි ඉක්‌මනින් පැරිස් යන ශ්‍රී ලංකන් ගුවන් යානය නියමිත වෙලාවට පිටත් කිරීමේ උපදෙස් ක්‍රියාත්මක කර ගැනීමටයි.
එම පැරිස් ගුවන් යානයේ (යූ. එල්. 563) සිටි ගුවන් කාර්ය මණ්‌ඩලයේ නම් ද කොමිසමේ ඉල්ලීම පරිදි සාක්‌ෂිකරු විසින් කොමිසමට ඉදිරිපත් කළේය.
මේ කොමිසම මගින් දඬුවම් ලබා දෙන්නේ නැති බව ඇත්තය .එහෙත් මේ සාක්‍ෂි උසාවියට වාර්තා කර යම් පියවරක් ගත හැකිව තිබේ. පාඩු ලබන ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ බර දරන ලද්දේ මහජනයා නම් ඒ පාඩුව වැඩි කළ ය කර ඇත්තේ මහජන මුදල්වලට හානි කිරීමකි .ඒ නිසා එවැනි අය වහාම අත්අඩංගුවට ගත යුතු නොවේද? එදා අර්ජුන මහේන්ද්‍රන් ගැන ද අප කීවේ ටිකමය. ඔහු රටින් පිට වීමට පෙර ඔහුගේ විදෙස් ගමන් තහනම් කිරීමට නීති අංශ නිසි ලෙස ක‍්‍රියා කළා නම් අර්ජුන මහේන්ද්‍රන් අල්ලා ගැනීමට අද මේ තරම් වෙහෙසීමට අවශ්‍යතාවක් මතු වන්නේ නැත. මේ ආකාරයටම නිශාන්ත වික‍්‍රමසිංහගේ හිතුවක්කාර තීරණ නිසා මෙරට මහජන මුදල් වලට පාඩුවක් වුවා නම් එය පොදු දේපොළ පිළිබද ප‍්‍රශ්නයකි . එසේ නම් ඔහු වහාම අත්අඩංගුවට පත් විය යුතු නොවේද? . මේ ආණ්ඩුව සමයේ අර්ජුන මහේන්ද්‍රන්ලා මෙන්ම ගිය ආණ්ඩුව සමයේ නිශාන්ත වික‍්‍රමසිංහලාද මහජන මුදල්වලට හානි කර ඇත්නම් මේ දෙදෙනාටම එක ලෙසම නීතිය ක‍්‍රියාත්මක විය යුතුය. එය පමණක් ප්‍රමාණවත් නැත ඒ හානි වූ මහජන මුදල් මේ රටේ මහජනයාට අත්පත් කරදීමද අත්‍යවශ්‍යය . ගජ මිතුරු අර්ජුන මහේන්ද්‍රන් මෙන්ම නිශාන්ත වික‍්‍රමසිංහ මස්සිනා ගැනද ඔවුන් කවුරුන් වුවත් එක ලෙසම නීතිය ක‍්‍රියාත්මක විය යුතුව . ගජ මිතුරන් වුවත් මස්සිනාලා වුවත් ඔවුන් මහජන මුදල්වලට හානි කර ඇත්නම් ඒ අය රැකීම අපට සැලකීමට වන්නේ මහජනයාට කරන සතුරු කමක් ලෙසය .
ජනාධිපති කොමිෂන් සභා පිළිබඳ මහජන විශ්වාසය බිඳී කිසියම් දුරකට බිදී ගොස් තිබේ .ඊට හේතුව එම කොමිෂන් සභා වාර්තාවලින් සිදු කරන නිර්දේශ ක‍්‍රියාත්මක කරන බවක් පෙනෙන්නට නැති නිසාය. එම කොමිෂන් සභාවලට වැය කරන්නේ ද මහජන මුදල්ය. අවසානයේ සිදු වන්නේ මෙකී කොමිෂන් සභා පත් කළ අරමුණු ඉටු වීම කෙසේ වෙතත් මහජනයා මත තවත් වැය බරක් පැටවීමය. ඒ නිසා යම් වංචාවක් හෝ දූෂණයක් විමර්ශනය කිරීමට ජනාධිපති කොමිසමක් පත් කර අවසානයේ එමගින් මහජනයාට සිදුව ඇති පාඩුව අය කරගෙන ඊට වගකිවයුත්තන්ට නිසි දඬුවම් නොදෙන්නේ නම් වනුයේ එම වංචාව හෝ දූෂණය නිසා මහජනයාට සිදු වූ පාඩුවට එම කොමිසමේ වැය බරත් එකතු වී මහජනයා පිට පැටවෙන බර තවත් වැඩි වීමය.ශ‍්‍රී ලංකන් ගුවන් සමාගම අපේ ජාතික ගුවන් සේවයයි. රටකට එවැනි ජාතික ගුවන් සේවයක් තිබීම ඒ රටට අභිමානයකි. ඒ නිසා ජාතික ගුවන් සේවයක් පවත්වාගෙන යායුතු බව අපගේ ද අදහසයි. අපේ රට සංචාරක ව්‍යාපාරය ගැන ද ඉමහත් බලාපොරොත්තු තබාගෙන සිටින රටකි . ඒ නිසා සංචාරක ව්‍යාපාරයේ ප‍්‍රවර්ධනයට ද අපේ ජාතික ගුවන් සේවය ඉවහල් කර ගත හැකිය. එහෙත් ජනාධිපති කොමිසම හමුවේ හෙළි වෙමින් තිබෙන තොරතුරු නම් එතරම් හොඳ නැත . මේ ගුවන් සේවය දිගින් දිගටම පාඩු ලබා ඇති අතර එම පාඩුව වැඩි වීමද සිදුව තිබේ. එසේ එම පාඩු තවත් වැඩි වීමට බලපෑ ඇති හේතු ශ‍්‍රී ලංකන් මිහින් ලංකා ජනාධිපති කොමිසමේ සාක්ෂි විභාගය මගින් අනාවරණය වෙමින් තිබේ. ශ‍්‍රී ලංකන් ගුවන්, ශ‍්‍රී ලංකන් කේටරින් සහ මිහින් ලංකා ජනාධිපති කොමිසම පත් කර ඇත්තේ පසුගිය මහින්ද රාජපක්ෂ රජය මෙන්ම වත්මන් යහපාලන රජයේ පාලන කාලය ද හසු වන පරිදිය. ඒ නිසා මේ රජයන් දෙක කාලයේම තොරතුරු කොමිසමේ සාක්ෂි විභාගය හරහා අනාවරණය වෙමින් තිබේ. එනම් හිටපු සභාපති නිශාන්ත වික‍්‍රමසිංහ ගැන මෙන්ම වත්මන් රජයෙන් පත් කළ සුරේන් රත්වත්ත ඇතුළු බොහෝ දෙනෙක්ගේ තොරතුරු දැනටමත් හෙළිදරව් වී ඇත. මේ අනුව විශේෂයෙන් නිශාන්ත වික‍්‍රමසිංහ හිටපු සභාපතිවරයා සමාගමෙන් ගෙන ඇති වැටුප්, දීමනා සහ වාහන පහසුකම් මෙන්ම ගුවන් සමාගමේ රියැදුරන් ඔහුට සේවය කරමින් සිටියදී ගෙන ඇති අති විශාල අතිකාල ගෙවීම් ගැනද කොමිසමට තොරතුරු හෙළිදරව් විය.
කොටි ත‍්‍රස්තවාදයෙන් රට බේරා ගත් නායකයා වශයෙන් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට රටවැසියා තුළ විශාල ගෞරවයක් තිබේ. ඉකුත් ජනාධිපතිවරණයෙන් පරදින තෙක්ම සෑම මැතිවරණයකදීම පාහේ විශිෂ්ට ජයග‍්‍රහණ අත් කර දෙමින්අති මහත් බහුතර කෘතවේදී මහජනයා එයට ඉමහත් ලෙස කෘතවෙදිත්වයද පළ කර තිබේ. එහෙත් ඔහුගේ ආණ්ඩුවේ ද බොහෝ වැරදි තිබුණි . එහෙත්ඒවා නිවැරදි කර ගැනීමට ඔහුට එතරම් ඕනෑ කමක් නොතිබුණි. ශ‍්‍රී ලංකන් ගුවන් සේවයයේ සිදුව ඇති දේවල් ඉන් ස්වල්පයක් පමණි . ඒ නිසා තම කදවුරේ අනාගත පාලනයකදී හෝ එම වැරදි නිවැරදි කර ගැනීමේ අවශ්‍යතාවක් මහින්ද රාජපක්ෂට තවමත් ඇතිව තිබේදැයි ඇතැම් අය සැක පළ කරති.එහෙත් වඩාත්ම අවශ්‍ය කරන්නේ එම අතීත වැරදි නිවැරදි කරගත් ඉදිරි රාජ්‍ය පාලනයක් බව මහින්ද රාජපක්ෂ ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ අයටත් සිහිපත් කළ යුතුව තිබේ .
ශ්‍යාම් නුවන් ගනේවත්ත