ආර්ථික වර්ධන අගයන් වෙනස් කිරීම ගැන විමර්ශනයක් කළ යුතුයි අජිත් නිවාඩ් කබ්රාල්, ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති
2016 වර්ෂයේ දළ දේශිය නිෂ්පාදිතයේ වර්ධනය 2.2%ක් තරම් අඩු අගයක පැවතියදී එය 4.4%ක් ලෙස දැක්වීම සදහා දළ දේශිය නිෂ්පාදිතයේ අගය රුපියල් බිලියන 231ක් වූ විශාල ගණනකින් වැඩි කොට, ප්‍රකාශ කරන ලද අතර 2014, 2015, 2016 සහ 2017 වර්ෂ සඳහා දළ දේශිය නිෂ්පාදිත වටිනාකම් වල කරන ලද වෙනස්කම් වසන් කිරීම සඳහා දළ දේශිය නිෂ්පාදිත අවධමනකය අවභාවිත කරන ලද බවත් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි .වසර තුනක් තුළ 2014 වර්ෂයේ දළ දේශිය නිෂ්පාදිතය සහ දළ දේශිය නිෂ්පාදිත අවධමකය පුළුල් ලෙස වෙනස්කම් වලට ලක්කොට ඇති අතර, 2014 වර්ෂයේ දළ දේශිය නිෂ්පාදිතය 7.4% සිට 4.5% සිට, 4.9% සිට, සිට 5.0% ලෙසින් වෙනස් කර, එක් වසරක් සඳහා දළ දේශිය නිෂ්පාදිත වර්ධන අනුපාතිකය හතර වරක් වෙනස් කරමින්, මේ රජය විසින් ලෝක වාර්තාවක් තබා ඇති බවද ඔහු කියයි .මේ ආර්ථික වර්ධන වංචාව හෙළිදරව් කරමින් තවත් කරුණු රැසක් ප්‍රකාශ කරන හිටපු මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කරන්නේ අනාගත රජයක් යටතේ මෙකී චෝදනා විමර්ශනය කොට, වැරදිකරුවන් නීතිය හමුවට පැමිණවිය යුතු බවයි .මේ සම්බන්ධයෙන් දිවයින ඇසු ප්‍රශ්න සහ ඒවාට හිටපු මහ බැංකු අධිපතිවරයා ලබා දුන් පිළිතුරු මෙසේය .

ප්‍රශ්නය - මේ ආණ්ඩුව ආර්ථික වර්ධන අගය වැඩි කොට පෙන්වන ලද බව ඔබ කීප අවස්ථාවකදීම ප්‍රකාශ කර තිබුණා .නාමික දළ දේශිය නිෂ්පාදිතය “පුම්බා දැක්වීම”මගින් එය කරන බවටත් ඔබ චෝදනා කර තිබුණා .ඔබ හිටපු මහ බැංකු අධිපතිවරයෙක් නිසා මේ චෝදනාව අති ප්‍රබලයි .මේ ගැන පැහැදිලි කිරීමක් කරන්න ?

පිළිතුර - 2016 වර්ෂයේ මූර්ත දළ දේශිය නිෂ්පාදිතයේ වර්ධනය, බළධාරීන් කිසිඳු ලැජ්ජාභයකින් තොරව “පුම්බා දැක්වීම” සහ ස්වකීය වාසියට හසුරවා ගත් ආකාරය 2017 වර්ෂයේ මැයි මස, මම පෙන්වා දුන්නා . එමෙන්ම, 2016 වර්ෂයේ දළ දේශිය නිෂ්පාදිත වර්ධනය සියයට 2.2 ක් තරම් අඩු අගයක පැවතිය දී එය සියයට 4.4 ක් ලෙස දැක්වූයේ කෙසේද යන්නත් මම පෙන්වා දුන්නා . මම ඒ බව පෙන්වා දුන්නේ 2016 වර්ෂය සඳහා වූ දළ දේශිය නිෂ්පාදිත අගයන් නිවේදනය කිරීමෙන් සති කිහිපයකට පසුවයි . එම කරුණු සියල්ලම ප්‍රමුඛ පෙළේ පුවත්පත් කිහිපයකම “රුපියල් බිලියන 231ක මහා වර්ධන වංචාව” යන ශීර්ෂපාඨය යටතේ පළ වුනා. ඒ අනුව, නාමික සහ මූර්ත දළ දේශිය නිෂ්පාදිත වර්ධන අනුපාතය සැකසහිත ලෙස වෙනස් කරමින්, 2016 වර්ෂයේ මූර්ත දළ දේශිය නිෂ්පාදිත වර්ධන අනුපාතය 2.2%ක සිට 4.4%ක් දක්වා වැඩි කිරීම සඳහා වසර කිහිපයක නාමික දළ දේශිය නිෂ්පාදිතය සහ දළ දේශිය නිෂ්පාදිත අවධමනකයට ඇතැම් සැකසහිත සහ අවස්ථානෝචිත ගැළපීම් සිදු කරන ලද ආකාරයද මම විස්තර සහිතව පෙන්වා දුන්නා .
එසේම 2014, 2015 සහ 2016 වර්ෂවල වර්ධන අනුපාතයන් ගැලපීම සඳහා දළ දේශිය නිෂ්පාදිත අවධමනකය අවභාවිත කර තිබෙනවා . තවද, එම නිර්මාණාත්මක ගැළපීම් මගින් ශ්‍රී ලංකාවේ දළ දේශිය නිෂ්පාදිතය ගණනය කිරීම ව්හිළුවක් බවට පත් වෙලා තිබෙනවා .

ප්‍රශ්නය - මෙය බරපතල චෝදනාවක් වුනත් එතරම් මහජන අවධානයට ලක් වූ බවක් පෙනුනේ නැහැ නේද ?
පිළිතුර - මාගේ චෝදනාවට ශ්‍රී ලංකා ආණ්ඩුවේ බලධාරීන්ගෙන් කිසිඳු පිළිතුරක් ලැබුණේ නෑ . ඔවුන් උපායශීලීව මෙකී ගැටලුව සම්බන්ධ ප්‍රසිද්ධ විවාදයකට එළඹීම මගහැරියා . විරුද්ධ පක්ෂය පවා මෙකී වංචාව මතුකර දැක්වීමට උත්සාහයක් ගත්තේ නෑ ., ඇතැම්විට ඔවුන් මෙකී අත්‍යවශ්‍ය කාරණාවේ මූලෝපායික වැදගත්කම අවබෝධ කර නො ගත්තා විය හැකිය. නැතහොත් එකී කාල වකවානුවේ බැඳුම්කර වංචාව හෙළිදරව් කිරීමට වැඩි වැදගත්කමක් දුන්නා වෙන්න පුළුවන් . හේතුව කුමක් වුව ද, 2017 වර්ෂය තෙක් සැක සංකාවෙන් තොරව මහජනයා සහ ආයෝජකයන් මත පැටවූ “වර්ධන වංචාව”, අවශ්‍ය තරමේ මහජන අවධානයක් ආකර්ෂණය කර ගැනීමට සමත් වුණේ නැති එක ඇත්ත . මෙම තත්ත්වය නිසා, මෙම සංවිධානාත්මක “වර්ධන වංචාවේ” මහමොළකරුවන්ට ඔවුන්ගේ ප්‍රයෝගයෙන් සාර්ථකව ගැලවී යා හැකි බවට විශ්වාසයක් හට ගන්නට ඇති . ඒ නිසා, එය නැවත නැවත සිදු කළ හැකි බවටත් ඔවුනට ඒත්තු ගැන්වෙන්නටද ඇති. ඇතැම්විට, මේ වසරේදී (2018) ද බළධාරීන් ඔවුන්ගේ දත්ත වංචා සහගත හැසිරවීමේ කාර්යයට පෙළඹුනේ ඒ නිසා වෙන්න පුළුවන් .
ප්‍රශ්නය - ඔබ කියා තිබුණේ දළ දේශීය නිෂ්පාදිත අවධමනකය වෙනස් කිරීම මගින් මේ වර්ධන වංචාව කර තිබුණු බවයි .එය කරන්නේ කෙසේද ?

පිළිතුර - මෙහිදී මුලින්ම දළ දේශීය නිෂ්පාදිත අවධමකය කුමක්ද යන්න පැහැදිලි කර ගත යුතුයි. දළ දේශීය නිෂ්පාදිත අවධමනකය යනු නාමික දළ දේශීය නිෂ්පාදිතය මූර්ත දළ දේශීය නිෂ්පාදිතයට පරිවර්තනය කරනා සාධකය වන උද්ධමනය මණින ආර්ථික මිනුම් දණ්ඩක් ලෙස හැදින්විය හැකියි . සාර්ව ආර්ථික විශ්ලේෂණයේදී දළ දේශීය නිෂ්පාදිත අවධමනකය ඉතාමත් වැදගත් මිනුම් දණ්ඩක් වනුයේ නාමික දළ දේශීය නිෂ්පාදිතයේ උද්ධමනය අන්තර්ගත වුවත් මූර්ත දළ දේශීය නිශ්පාදිතයේ උද්ධමනය අන්තර්ගත නොවන නිසයි . දළ දේශීය නිෂ්පාදිත අවධමනකය නාමික දළ දේශීය නිෂ්පාදිතය මූර්ත දළ දේශීය නිෂ්පාදනයට පරිවර්තනය කරන බැවින්, එය නිරන්තරයෙන් මිල උද්ධමනයට සාපේක්ෂව නිරවද්‍ය මිම්මක් ලෙස සැලකෙනවා . එසේම දළ දේශීය නිෂ්පාදිත අවධමනකය යනු (උද්ධමන අගයන් මෙන්ම) දැඩි සැලකිල්ලකින්, නොවෙනස්ව සහ නිපුණතාවකින් ගණනය කළ යුතු ආර්ථික මිණුම් දණ්ඩක් වන අතර, නොසැලකිල්ලෙන් කටයුතු කරන කිසිවෙකුගේ ඕනෑ එපාකම් අනුව හෝ ආර්ථික දේශපාලන අරමුණු වෙනුවෙන් වෙනස් කළ හැකි මිම්මක් නෙවෙයි .

එහෙත් පසුගිය වසර තුන තුළ, යහපාලන ආණ්ඩුව යටතේ දළ දේශීය නිෂ්පාදිත අවධමනකය පුළුල්ව උච්චාවචනයට ලක්වන සාර්ව ආර්ථික මූලධර්මයක් බවට පත්වී වෙලා තිබෙනවා .ඒ අනුව 2014,2015, 2016 සහ 2017 වර්ෂ සඳහා වන දළ දේශීය නිෂ්පාදිත වර්ධන අගයන් වෙනස් කිරීම සඳහා දළ දේශීය නිෂ්පාදිත අවධනමක සහ නාමික දළ දේශීය නිෂ්පාදිත අගයන් හිතුමතේ යම් කෙනෙකුගේ අභිමතයට හසුරුවා ඇති බව පැහැදිලි වෙනවා .දළ දේශීය නිෂ්පාදිත අවධමකයේ වටිනාකම කඩිමුඩියේ අත්තනෝමතිකව “ගැළපූ”මෙකී බලධාරීන් කොළඹ පාරිභෝගික මිළ දර්ශකයේ අගයන් වෙනස්කමකින් තොරව පවත්වා ගෙන ගොස් තිබෙනවා . ඔවුන් එසේ කර ඇත්තේ, වඩාත් හුරුපුරුදු “උද්ධමන අනුපාතිකයන්ට” කුමන හෝ වෙනසක් කළොත් ඔවුන්ගේ වංචාව ගැන නොපමාව හැමෝගෙම අවධානය යොමු වන නිසා බවට ඔවුන් අනුමාන කරන්නට ඇති .

ප්‍රශ්නය - ඔබ කියන්නේ මේ ඉලක්කම් වෙනස දේශපාලන වුවමනාවක් මත කරන දෙයක් බවද ?
පිළිතුර - ඒ සදහා පසුබිමක් පෙනෙනවා . ක්‍රියාවට නංවා ඇති මෙකී වංචාවේ පරිමාණය හා විශාලත්වය සළකා බලන විට දළ දේශීය නිෂ්පාදිතය සහ අනිකුත් සංඛ්‍යා ගෞරවනීය මට්ටමකින් නොවන වග දැනසිටි ආණ්ඩුවේ ඉහළ පෙළේ නායකයන්ගේ ද ආශිර්වාදය දළ දේශීය නිෂ්පාදිත අගයන් විකෘති කිරීමේ ප්‍රයත්නය සඳහා ලැබෙන්නට ඇතැයි අපට සිතන්නට පුළුවන් .
මෙහිදී පැහැදිලි වන ආකාරයටම, දත්ත සම්පාදකයන් සහ විශ්ලේෂකයන් පමණක් වන තාක්ෂණික නිලධාරීන් නොව දේශපාලනික වාසි ලබාගැනීමට ඉහළ වර්ධනයක් පෙන්නුම් කිරීමේ අරමුණ ඇති, ආණ්ඩුවේ දේශපාලනඥයින්ගේ වුවමනාව මෙය කිරීමට ප්‍රමුඛ වන්නට ඇතැයි අපට හිතන්න පුළුවන් .

දේශපාලන අධිකාරියේ මෙකී ඉහළ මට්ටමේ මැදිහත්වීම බොහෝ සෙයින් සිදු විය හැක්කක් ලෙස පෙනී යනවා . එනම් එක්තරා ආණ්ඩු පක්ෂ දේශපාලනඥයෙකු ඉතාමත් කැමැත්තකින්, නැවත පදනම් වූ අගයන් “නිවේදනය” කිරීම තමා විසින්ම සිදුකරමින් එමඟින් තමාට සහ තම දේශපාලන පක්ෂයට දේශපාලන පැසසුම් එක් කරගනිමින් කටයුතු කළ ආකාරය මේ වන විට මුළු රටම දැක ඇති දෙයක් .එසේ නම්, බොහෝ විට මෙම වංචාව ක්‍රියාවට නගා ඇත්තේ දේශපාලන මහමොළකරුවෙකු හෝ දෙදෙනකු සහ ආර්ථික දත්ත ඒකරාශී කිරීම විශ්ලේෂණය සහ බෙදා හැරීම සඳහා වගකියන ආයතනයන්හී ප්‍රධාන නිලධාරීන් කිහිප දෙනෙකුගෙන් සැදුම්ලත් “වර්ධන වංචා කණ්ඩායමක්” මඟින් යයි අපට සිතිය හැකිය.

මේ කියූ වර්ධන වංචාකරුවන්ගේ කණ්ඩායම , අප කලින් විස්තර කළ ආකාරයට වර්ධන වංචාව ආරම්භ කර ඇත්තේ 2015 ජුලි මස දළ දේශීය නිෂ්පාදනය සඳහා නව පදනම් කාලයක් ලබා දීමත් සමග බව පෙනෙනවා . ඉන්පසුව එළැඹි වර්ෂවල, දළ දේශීය නිෂ්පාදිත වර්ධන අගයන් අඛණ්ඩව ගැළපීම සඳහා වංචා මාලාවක් ඔවුන් කර ඇත්තේ නාමික දළ දේශීය නිෂ්පාදිත සංඛ්‍යා සහ දළ දේශිය නිශ්පාදිත අවධමනකයට අත්තනෝමතික ගැලපීම් සිදු කරමින් බව කියන්න පුළුවන් .මේ අනුව 2014 වර්ෂයට අදාළ නාමික දළ දේශීය නිෂ්පාදිත වර්ධනය සහ දළ දේශීය නිෂ්පාදිත අවධමනකය වසර තුනක් තුළ සිව් වතාවක් පුළුල් ආන්තිකයන්ගෙන් වෙනස් වී තිබෙනවා .එනම් 2014 වසරේ දළ දේශීය නිෂ්පාදිත අවධමනකය මුලින්ම 2014 මහා බැංකු වාර්ෂික වාර්තාවෙන් 5.ක් ලෙසත් දෙවනුව 2015 ජුලි මාසයේදී ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළ නැවත පදනම් කළ අගයන් අනුව 2.8 ක් ලෙසත් ,තෙවනුව 2015 මහා බැංකු වාර්ෂික වාර්තාවේ 3.9 ක් ලෙස සහ 2016 මහ බැංකු වාර්ෂික වාර්තාවේ 2.9 ක් ලෙසත් දක්වා තිබෙනවා .

2014 වර්ෂය සඳහා නාමික දළ දේශීය නිෂ්පාදිත වැඩිවීම රුපියල් බිලියන 1,111ක් ලෙස ප්‍රථම වරට වාර්තා වූයේ 2015 අප්‍රේල් මාසයේ දී ය. මාස තුනකට පසු 2015 ජුලි මස නව පදනම් කාලයක් ලබා දීමේ ක්‍ර‍මවේදය භාවිත කරමින්, 2014 වර්ෂය සඳහා වූ නාමික දළ දේශීය නිෂ්පාදිතය සංශෝධනය කරමින් අතිවිශාල ලෙස සියයට 37 කින් පහත දැමූයේ වැඩිවීම රුපියල් බිලියන 700 ක් බව පෙන්වා දෙමින් . මෙම නව අගයන් නිවේදනය කරනු ලැබූයේ ආණ්ඩු පක්ෂ අමාත්‍ය හර්ෂ සිල්වා මහතායි .ඔහු ඉන් දේශපාලන ඉතිහාසය අලූතින් ලියැවූයේ ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ අගයන් නිවේදනය කළ ප්‍රථම දේශපාලනඥයා ලෙසින් . මෙසේ ඇදහිය නොහැකි ලෙස ඉතිහාසය නැවත ලියවන අතරතුර, සිල්වා මහතා ප්‍රකාශ කළේ 2014 වර්ෂය සඳහා වූ දළ දේශීය නිෂ්පාදිතයේ වටිනාකම මෙයට පෙර රුපියල් බිලියන 411 ක අගයකින් “වැඩි කර දක්වා” තිබූ බවත් දැන් එය නිවැරදි කර ඇති බවත් ය. එහෙත් මාස 9කට පසු,, බලධාරීන් 2010 අප්‍රේල් මස 2014 වර්ෂය සදහා වන නාමික දළ දේශීය නිෂ්පාදිත වර්ධනය තවත් සියයට 22 කින් ඉහළ දැමූ අතර ඒ වන විට වර්ධනය රුපියල් බිලියන 856 ක් බව ප්‍රකාශ කළා. තවත් මාස 12 කට පසු එනම් 2017 අප්‍රේල් මස බලධාරීන් එය නැවත වරක් සංශෝධනය කළේ 2014 වර්ෂයේ නාමික දළ දේශීය නිෂ්පාදිත වර්ධනය මෙයට පූර්වයෙන් සඳහන් අගයට වඩා 10% කින් අඩු බවත්, එය රුපියල් බිලියන 769 ක් පමණක් බවත් ප්‍රකාශ කරමින් බවත් කිව යුතුයි .

අමාත්‍ය හර්ෂ සිල්වා එවකට ප්‍රකාශ කළේ ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවෙන් සහ මහ බැංකුවෙන් ඊට මාස තුනකට පෙර වාර්තා කළ පරිදි 2014 වර්ෂයේ දළ දේශීය නිෂ්පාදිත වර්ධනය සියයට 7.4 ක් නොව, 4.5 ක් පමණක් බවයි .සිල්වා මහතා පුද්ගලිකවම නැවත පදනම් කළ අගයන් නිවේදනය කිරීමෙන් දළ දේශීය නිෂ්පාදිත වර්ධන සංශෝධන කාර්යය පසුපස වූ දේශපාලන හස්තය ඔහු නොදැනුවත්වම පැහැදිලි වෙනවා. ඔහුගේ අවාසනාවට පසුගිය පාලන සමයේ දළ දේශීය නිෂ්පාදිත වර්ධනය අගයන් පහළ දැමීමෙන් ඔහු උපයා ගත්තා යැයි සිතූ දේශපාලන ලකුණු සඳහා වැඩි ආයුෂ තිබුනේ නැහැ .

ප්‍රශ්නය - ඔබ එහෙම කියන්නේ ඇයි ?
පිළිතුර - 2016 අප්‍රේල් වන විට යහපාලන ආණ්ඩුවේ පළමු වසර ආර්ථික ව්‍යසනයක්ද, 2015 “වර්ධනය” ඉතා මන්දගාමී අගයක්ද ගත්තා. මෙම තත්ත්වය අවබෝධ වීම හරහා මන්දගාමී වූ ආර්ථික වර්ධනයේ සැබෑ ස්වභාවය පොදු ජනයාගෙන් වසන් කිරීමට යහපාලන ආණ්ඩුවට පියවර කිහිපයක් ගැනීමට සිදු විය. මේ අතරතුර, බලධාරීන් ඔවුන්ගේ ප්‍රයෝගකාරී ක්‍රියාවන් පවත්වාගෙන යාම සදහා 2015 ජූලි වූ “නව පදනම් කාලය” හරහා ලබා දී තිබූ 2014 මූර්ත දළ දේශීය නිෂ්පාදිත වර්ධන අනුපාතය යම්තාක් ස්ථාවර සියයට 5 කට ආසන්න අගයක පවත්වා ගෙන යෑමට, 2016 අප්‍රේල් දළ දේශීය නිෂ්පාදිත අවධමනකය සියයට 3.9 කටත්, 2017 අප්‍රේල් සියයට 2.9 කටත් සංශෝධනය කර, ඇති බව පෙනෙනවා. අවසානයේ “වර්ධන වංචාකරුවන්ගේ කණ්ඩායම”, 2014 වර්ෂයේ දළ දේශීය නිෂ්පාදිත වර්ධන අගය 7.4% සිට 4.5% සිට 4.9% සිට 5.0% දක්වා වෙනස් කළා . එසේ කිරීමෙන් එක වසරකට විවිධ දළ දේශීය නිෂ්පාදිත වර්ධන අනුපාත හතරක් ඇති ආර්ථිකයක් ලෙසින් ඔවුන් ඇදහිය නො හැකි ලෝක වාර්තාවක් තැබුවා .මේ ආකාරයටම 2015 වර්ෂය ,2016 වර්ෂය සහ 2017 වර්ෂය යන වර්ෂවලදී ඉලක්කම් වෙනස් කළ ආකාරය පෙන්වා දෙන්න පුළුවන් .
2018 මැයි 31 වන දින රජයේ මුද්‍රිත ආර්ථික ප්‍රකාශනය සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා අදහස ඉදිරිපත් කළා . ඒ අනුව, 2017 වසර අවසානයේ රටේ රාජ්‍ය ණය රු. බිලියන 10,313 නොව, රු. බිලියන 10,702 වන බව එතුමා වාර්තා කර තිබෙනවා . එම පදනම මත විගණකාධිපතිවරයා විසින් රාජ්‍ය ණය රු. බිලියන 389 ක් වැනි අතිවිශාල අගයකින් ඉහළ නංවා ප්‍රතිශෝධනය කළා. එහිදී විගණකාධිපතිවරයා ප්‍රකාශ කර සිටියේ 2017 වසර සදහා ණය සහ දළ දේශීය නිෂ්පාදනය අතර අනුපාතය බලධාරීන් විසින් ප්‍රකාශ කරන ලද පරිද 77.6%ක් නොව, 81.0%ක් වන බවයි . එමගින්, අපට පෙනී යන්නේ ණයගැතිභාවය මත ශ්‍රේණිගත කිරීමේ දී, ශ්‍රී ලංකාව “අධික ලෙස ණයගැති රාජ්‍ය” යන ප්‍රවර්ගය යටතේ දැන් නම් කෙරෙන බවය.
එමෙන්ම, විගණකාධිපතිවරයා විසින් ණය සහ දළ දේශීය නිෂ්පාදිතය අතර අනුපාතය ගණනය කරන ලද්දේ, 2017 වසර අවසානයේ නිල නාමික දළ දේශීය නිෂ්පාදන වටිනාකම වූ රු. බිලියන 13,289 ක් ලෙස “පුම්බන ලද” අගයක් මත පදනම්ව බව ද මෙහිදී සඳහන් කළ යුතුයි . කෙසේ වෙතත්. වඩාත් තාත්වික වූ නාමික දළ දේශීය නිෂ්පාදිත වටිනාකම වන රු. බිලියන 12,967 භාවිතා කරන්නේ නම්, ණය සහ දළ දේශීය නිෂ්පාදනයේ අනුපාතය 82.5% දක්වා තවදුරටත් වැඩි වන බවත් කියන්න පුළුවන් .
ප්‍රශ්නය - මේ තත්වය රටේ ණයගැතිභාවය ඉහළ නංවන බව ඔබ කියනවා .මේ ආර්ථික බලපෑම් මොනවාද ?
පිළිතුර - ඉහල යමින් පවතින “දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂ ණය ප්‍ර‍තිශතය” හේතුවෙන්, ශ්‍රී ලංකාව “අධික ලෙස ණයගැති රාජ්‍යයක්” ලෙස වර්ගීකරණය වෙනවා .වඩාත් නිවැරදි සහ තාත්වික ණය සහ දළ දේශීය නිෂ්පාදිතය අතර ප්‍ර‍තිශතය වන 82.5% ශ්‍රී ලාංකික බලධාරීන් විසින් මහජනයාට සහ ආයෝජකයන්ට නිවේදනය කරන ලද වංචනික අනුපාතයට වඩා 5% කින් පමණ වැඩි බව මෙහිදී පෙනී යනවා . එසේ නම්, ණය සහ දළ දේශීය නිෂ්පාදිතය අතර සත්‍ය අනුපාතය ඉතා අධික අගයක් වන 82.5% බව මහජනයා සහ ආයෝජකයන් හට වැටහුණේ නම්, ඔවුන් ශ්‍රී ලංකාව සහ එහි ආර්ථිකය සම්බන්ධයෙන් ඇති කරගන්නා අදහස එම අනුපාතය 77.6% ලෙස වාර්තා වූ විට ඇතිකරගන්නා ලද අදහසට වඩා බොහෝ සෙයින් වෙනස් වන බවට කිසිම සැකයක් නැහැ . රජයේ සුරකුම්පත්, ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර, ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර ආදියෙහි රුපියල් සහ ඩොලර් බිලියන ගණනින් ආයෝජනය කරන ආයෝජකයන් සිය ගණනක්, ඔවුන්ගේ ආයෝජන තීරණ ගැනීමේදී, බලධාරීන් විසින් නිකුත් කරන ලද අගයන් මගින් මග පෙන්වනු ලැබීම හේතුවෙන්, බහුපාර්ශවීය ආයතන සහ ජාත්‍යන්තර වර්ගීකරණ ආයතන, මෙම නව තත්ත්වයට ප්‍රතිචාර දැක්වීම ඉතාමත් අත්‍යාවශ්‍ය කාරණයක් වෙනවා

දැනටමත්, බැඳුම්කර මගඩිය සහ එය වසන් කිරීමට දැරූ ඉහළ අංශ වල උත්සාහය හරහා, ආර්ථිකයේ විශ්වාසනීයභාවයට අති විශාල හානියක් සිදුව තිබෙනවා . එසේම මේ තත්ත්වය නැවැත්වීමට විශ්වාසනීය පියවර නොගන්නේ නම්, දැනට හෙළි වෙමින් පවතින වර්ධන මගඩිය මගින්ද, අලුතෙන් සිදුවනු ඇති හානිය තුළින් නිසැකවම අප ආර්ථිකයට මරු පහරක් වැදීම අනිවාර්යය දෙයක් . මෙම දූෂිත ආණ්ඩුවට “සත්‍යය” තිත්ත බෙහෙතක් වුවද, මෙම වංචාව වහාම නවතා දමා, නිවැරදි හා විශ්වාස කළ හැකි අගයන් නැවත ප්‍රකාශයට පත් කර දත්ත පූර්ණත්වය ප්‍රතිෂ්ඨාපනය කිරිම මගින් පමණක් මෙහි දීර්ඝ කාලීන හානි අවමකරගත හැකිය යන්න කීමට පවා අනවශ්‍ය දෙයක් .
.

ප්‍රශ්නය - මේ ඉලක්කම් වෙනස් කිරීම ගැන තවමත් රජයේ විගණකාධිපතිවරයා මුකුත් ප්‍රකාශ කර නැහැ ?
පිළිතුර -මේ ගැන විපරම් කොට, පුළුල් විමර්ශණයක් පැවැත්වීමට විගණකාධිපතිවරයාට පුළුවන් .රජයේ ආර්ථික සහ ගිණුම් ප්‍රකාශන සම්බන්ධව සිය සෘජු අදහස් සහ අර්ථකථනයන් එඩිතර ලෙස වාර්තා කරමින් වර්තමාන විගණකාධිපතිවරයා වන ගාමිණී විජේසිංහ මහතා ප්‍රශංසනීය වූ වගකීම් සහගත බවක්, විනිවිදභාවයක් හා ස්වාධීන බවක් පෙන්වා තිබෙනවා . රාජ්‍ය ණයෙහි සැබෑ තත්ත්වයත්, එයට අනුරූපව ණය සහ දළ දේශීය නිෂ්පාදිතය අතර අනුපාතයත් පැහැදිලි කරමින්, 2017 දෙසැම්බර් 31 වන විට රටේ ණය තත්ත්වයත් සම්බන්ධව ඔහු මෑතකදී පළ කළ අදහස සැබැවින්ම ප්‍රශංසනීයයි. මෙම පසුබිම යටතේ, විගණකාධිපතිවරයා විසින් මෙම වංචාවේ විශාලත්වය සහ පරිමාණය මැන ගැනීමත්, රටට හෙළිදරව් කිරීමටත් මෙම “දළ දේශීය නිෂ්පාදිත වර්ධන වංචාව” පිළිබඳ විශේෂ විමර්ශනයක් ආරම්භ කරනු ඇතැයි, අපට බලාපොරොත්තු විය හැකියි .

රජයේ ආයතන සහ බලධාරීන් විසින් ක්‍රියාවට නංවා ඇති ක්‍රියාවලීන් සහ පද්ධතීන් නැවත පරික්ෂා කිරීමට සහ සිතාමතා සහ/හෝ නොසැලකිලිමත් ලෙස සහ/හෝ රටේ දත්ත වෙත දේශපාලනිකව පොළඹවන ලද අතපෙවීම් කිසිවක් ඇත්දැයි සොයා බැලීමට විගණකාධිපතිවරයා හට අයිතියක් සහ වගකීමක් තියෙනවා . එසේ කිරීමෙන් පසුව, විගණකාධිපතිවරයා හට, එවන් ක්‍රියාවන් වසන් කිරීම සඳහා වගකිවයුත්තන් නම් කරන්නටද ඔහුට හැකියාව තියෙනවා. විගණකාධිපතිවරයා එවන් විමර්ශනයක් ආරම්භ කරන්නේ නම්, එම විමර්ශන ක්‍රියාවලිය තුළින්ම රටේ දත්තවල පූර්ණත්වය ප්‍රතිෂ්ඨාපනය වනු ඇති. එම නිසා, මුළු මහත් ආර්ථිකය සහ රට වෙනුවෙන් ඔහු එසේ කරනු ඇතැයි අපගේ අපේක්ෂාවයි.
ඉලක්කම්වල මේ “නිර්මාණශීලී” ගැළපීම් නිසා ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය ගණනය කිරීම දැන් විහිළුවක් බවට පත් කර ඇති අතර එහි යටි අරමුණ අගයන් සහ ඉලක්කම් “නිෂ්පාදනය කිරීම” ලෙස පෙනෙනවා. ඒ අතර, එය දේශපාලකයන්ගේ අපේක්ෂාවන්ට අනුව මිස අනුකූලතාව, නීත්‍යානුකූලභාවය සහ විශ්වාසනීයත්වය පිළිබඳව ශුද්ධ වූ නියමයන් මත පදනම්ව සිදුනොවන්නක් බවද පැහැදිළියි . විශේෂයෙන්ම මෙම අගයන් මත පදනම්ව රුපියල් බිලියන ගණනින් යුතු අතිශය වැදගත් ආයෝජන තීරණ ගන්නාවූ රාජ්‍ය සුරැකුම්පත් සහ කොටස්වල ආයෝජනය කරන දේශීය හා විදේශීය ආයෝජකයන් ඇතුළු සියලු පාර්ශවකරුවන් හට මෙම හිතුවක්කාර, සහ පක්ෂග්‍රාහී, ආකල්පය බරපතළ කනස්සල්ලට හේතුවක් වන බවත් පැහැදිලියි . ඒ අනුව මෙම තත්වය දිගටම පවතින්නේ නම්, බලධාරීන් විසින් ප්‍රකාශයට පත්කරන තොරතුරු සහ සංඛ්‍යා ලේඛනයන්හි නිවැරදිභාවය මත තවදුරටත් විශ්වාසය තැබීමට ශ්‍රී ලාංකීය ආර්ථිකයේ පාර්ශවකරුවන්ට නොහැකි වනු ඇති බව කිව යුතුයි .එසේම මෙම ප්‍රධාන අගයන් හා සම්බන්ධ වංචාසහගත හැසිරවීම් පරික්ෂා කිරීමේදී ඉතා කණගාටුවෙන් වුවත් කිව යුතුව ඇත්තේ, අප රටෙහි මෙන් ආර්ථික දත්ත මෙලෙස සිතා මතා, මෙතරම් විශාලත්වයකින් සහ කිසිදු පැකිලීමකින් තොරව වෙනස් කිරීම් ශිෂ්ට ලෝකයේ කිසිදු රටක සිදුවී ඇතැයි සිතන්නටවත් අපහසු බවයි .
ප්‍රශ්නය - ඔබ පවසන මේ ආර්ථික වර්ධන අගයන් වෙනස් කිරීමට වගකිවයුත්තන්ට එරෙහිව ගත හැකි පියවර කුමක්ද ?
පිළිතුර - අනාගත රජයක්, මෙම චෝදනා විමර්ශනයට ලක් කොට වැරදිකරුවන් නීතිය හමුවට ගෙන ආ යුතුයි . හිතුවක්කාර ලෙස, සිදු කර ගෙන යන ඉහත සඳහන් සැක සහිත කටයුතු සිදුවී ඇති අවස්ථා පිළිබදව විමර්ශන පවත්වා, එහි සම්පූර්ණ සත්‍ය අවබෝධ කර ගැනීමට අනාගත රජයක් විසින් දැඩිව වෙහෙස විය යුතුය. මහත් කැපවීමෙන් කටයුතු කොට ඇති රාජ්‍ය නිලධාරීන් විසින් දශක ගණනාවක් පුරා ඉවසීමෙන් සහ මහත් වෙහෙසවීමකින් ගොඩනගන ලද ශ්‍රී ලංකාවේ දත්ත පූර්ණත්වයට අති විශාල අපකීර්තියක් සහ අගෞරවයක් ගෙන ඇති මෙම සැකසහගත, හානිදායක සහ රැවටිලි සහගත ක්‍රියාවන් පිටුපස සිටින්නන් කවුදැයි හඳුනා ගත හැක්කේ එසේ කිරීම මගින් පමණයි. එය ඉටු කෙරුනහොත් පමණක්, ශ්‍රී ලංකාවේ ආර්ථීක දත්ත වල පූර්ණත්වය සහ විශ්වාසනීයත්වය නැවත ඇති කළ හැකි වෙනවා . අනාගත රජයක් විසින් එවන් විමර්ශනයක් පැවැත්වීම සඳහා ඉහළම ප්‍රමුඛතාවයක් ලබා දී, මේ අක්‍රමිකතා පිටුපස සිටින්නන් නීතිය ඉදිරියට ගෙන ඒමද අත්‍යාවශ්‍ය වෙනවා .
සංවාදය -
ශ්‍යාම් නුවන් ගනේවත්ත
Views
76
2018-08-18 07:13:32