තොරතුරු තාක්ෂණ නව අණ පනත් ගැන ව්‍යාවසායකයින් දැනුවත් කෙරේ
ශ්‍රී ලංකා තොරතුරු පද්ධති විගණන සහ පාලන සංගමය (ISACA) සංවිධානය කරන ලද “දත්ත ආරක්ෂණය, සයිබර් ආරක්ෂාව සහ නවෝපාදනයන් හරහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සවිබලගැන්වීම” මැයෙන් එක් දින සම්මන්ත්‍රණයක් කොළඹදී පැවැත්විණි.
මේ සඳහා ව්‍යවසායකයින් රැසක් සහභාගි වී සිටි අතර ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වු එක්සත් ජනපද ආයතනයේ (USAID) සහයෝගයෙන් මෙම එක්දින සම්මන්ත්‍රණය සංවිධානය කර තිබිණි.
අලුතින් සම්මත කරන ලද ශ්‍රී ලංකා දත්ත ආරක්ෂණ පනත පිළිබඳව දේශනයක් සිදු කළ ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ අධ්‍යක්ෂ ජයන්ත ප්‍රනාන්දු මහතා එහිදී ඩිජිටල් ආර්ථිකයට නව පනතේ බලපෑම පිළිබඳව සිය අදහස් පල කළේය. තවද ඔහු තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත, ඉලෙක්ට්‍රොනික ගනුදෙනු පනත, පරිගණක අපරාධ පනත සම්බන්ධයෙන්ද කරුණු දැක්වූ අතර විශේෂයෙන්ම කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ ව්‍යවසායකයන් (SMEs) මෙම පනත් පිළිබඳව දැනුවත්ව කටයුතු කිරීමේ වැදගත්කම අවධාරණය කළේය.
මෙහිදී "නව නිපැයුම් මානසිකත්වය" යන මාතෘකාව යටතේ සිය දේශනය පැවැත්වූ ජාතික නව්‍යකරණ නියෝජිතායතනයේ පාලක සභා සාමාජික ආචාර්ය සංකල්ප ගම්වාරිගේ මහතා නවෝත්පාදන සහ නව නිපැයුම් අතර වෙනස පැහැදිලි කරමින් සිය දේශනය ආරම්භ කළේය. පසුව ඔහු ව්‍යාපාර නවෝත්පාදන, සමාජයීය නවෝත්පාදන, සහ විවෘත නවෝත්පාදන ආදී නවෝත්පාදනයන් පිළිබඳ අදහස් පළ කළ අතර නව්‍ය මානසිකත්වයක් ඇති කර ගැනීම සඳහා අත්‍යවශ්‍ය කරුණු දහයක් සම්බන්ධ වැදගත් කරුණු රැසක් පිළිබඳව ද දැනුවත් කරන ලදි.
Tech One Global සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සහ සම-නිර්මාතෘ වසන්ත වීරකෝන් මහතා අදහස් දක්වමින් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා තිරසාර බව සහ ආපදා ප්‍රතිසාධනයේ වැදගත්කම පැහැදිලි කළේය. තවද අනපේක්ෂිත තත්ත්වයන්ට සාර්ථකව මුහුණ දෙමින් ව්‍යාපාර ආරක්ෂා කර ගැනීමේ වැදගත්කම අවධාරණය කරමින් ඩිජිටල් පණිවුඩ වල සත්‍යතාව සහතික කිරීම සඳහා ඩිජිටල් අත්සන් භාවිතයේ ඇති තීරණාත්මක කාර්යභාරය ද වීරකෝන් මහතා අවධාරණය කළේය.

ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය සහ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ කර්මාන්ත මණ්ඩලය ( FITIS) ඇතුළු ආයතන රැසක සහාය ද මේ සඳහා ලැබී තිබිණි. ශ්‍රී ලංකා තොරතුරු පද්ධති විගණන සහ පාලන සංගමයේ සභාපති ලක්මාල් ඇඹුල්දෙනිය මහතා ඇතුළු සාමාජික සාමාජිකාවන්ද මෙම අවස්ථාවට එක්වී සිටියහ.
Views
63
2023-05-19 07:18:20
ජනප්‍රිය පුවත්