නැවත දන්වන තුරු සේවයෙන් ඉවත් වෙනවා - රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව පවසයි.


ශ්‍යාම් නුවන් ගනේවත්ත
රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව නියෝජනය කරන සියලුම සේවා වලට අයත් නිලධාරීන් නැවත දන්වන තුරු සේවයෙන් ඉවත් වන බව රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව පවසයි.
ජනාධිපති ප්‍රමුඛ සමස්ත ආණ්ඩුව ඉල්ලා අස්වී පාර්ලිමේන්තුවට ජාතික ලැයිස්තුවෙන් තේරී පත්වන මන්ත්‍රී ධූර මගින් පත් කරනු ලබන උගත් වගකීම් දැරියහැකි වෘත්තීයවේදීන්ගෙන් ගෙන් සමන්විත භාරකාර ආණ්ඩුවක් කෙටි කාලයක් සඳහා පත් කර ගන්නා තුරු මෙම වෘත්තීය ක්‍රියා මාර්ගය දැඩිව ඉදිරියට ගෙන යන බව ද රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව කියයි.
මේ සම්බන්ධයෙන් ඔවුන් නිකුත් කළ නිවේදනයේ මෙසේ ද සදහන් වේ.



රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව ලෙස, පෙරේදා (09 ) ගාලුමුවදොර පිටියේ සහ අරලියගහ මන්දිරය ඉදිරියේ පවත්වාගෙන ගිය නිරායුධ, සාමකාමී විරෝධතා ව්‍යාපාරයන්ට අග්‍රාමාත්‍ය කාර්යාලයේ සිට සංවිධානය වී පැමිණි පිරිස විසින් එල්ලකල අමානුෂික මැර ප්‍රහාරය දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින්නෙමු. එමෙන්ම පොදුජන පෙරමුණු ආණ්ඩුව තම පාක්ෂිකයන් යොදවා එල්ල කරන ලද මෙම තුච්ච ප්‍රහාරයට සම්බන්ධ වූ සියලුම පිරිසට නීතිය තදින් ක්‍රියාත්මක කරන ලෙස ශ්‍රී ලාංකික සහ විදේශීය සියලුම වගකිව යුතු පාර්ශව වලින් දැඩිව ඉල්ලා සිටින්නෙමු.
මෙම මාධ්‍ය නිවේදනය ප්‍රකාශ කරන මොහොතේ සිට රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව නියෝජනය කරන සියලුම සේවා වලට අයත් නිලධාරීන් නැවත දන්වන තුරු සේවයෙන් ඉවත් වන බව ප්‍රකාශ කරන්නෙමු.
තවද ජනාධිපති අගමැති ප්‍රමුඛ සමස්ත ආණ්ඩුව ඉල්ලා අස්වී පාර්ලිමේන්තුවට ජාතික ලැයිස්තුවෙන් තේරී පත්වන මන්ත්‍රී ධූර මගින් පත් කරනු ලබන උගත් වගකීම් දැරියහැකි වෘතීයවේදීන්ගෙන් ගෙන් සමන්විත භාරකාර ආණ්ඩුවක් කෙටි කාලයක් සඳහා පත් කර ගන්නා තුරු අපගේ මෙම ක්‍රියා මාර්ගය දැඩිව ඉදිරියට ගෙන යන බව සියලු දෙනා වෙත මෙයින් දන්වා සිටින්නෙමු.
Views
611
2022-05-10 05:45:39
ජනප්‍රිය පුවත්